by Danesh Edirisooriya | Mar 21, 2013 | Stories
රෝහලක එකම කාමරයක ගොඩාක් අසනීපෙන් ඉන්න මනුස්සයො දෙන්නෙක් හිටියා.. එතනින් එක්කෙනෙක්ට අවසර තිබ්බා දිනකට පැය එකක් ඉඳගෙන ඉන්න, එයාගේ පෙණහැල්ලේ වතුර ඉවත් කරන්න.. එයාගේ ඇඳ තිබ්බේ ජනේලේ ලග.
අනෙක් කෙනාට ඇදෙන් නැගිටින්න බෑ.. දෙන්නා ගොඩාක් වෙලා කතා කරා ගොඩාක් දේවල්… එයාලගේ පවුල, දරුවො, ගෙවල්, රස්සා, නිවාඩු ගත කරපුවා හැම දෙයක්ම කතා කලා..
හැම හැන්දාවකම ජනේලේ ලග ඉන්න මනුස්සයා නැගිටලා ඉන්න පැයේදී එළියේ පේන දේවල් ගැන අනෙක් කෙනාට විස්තර කරනවා..
අනෙක් ඇඳේ ඉන්න මනුස්සයා ඒ පැය ඇතුළත අමුතුම වර්ණවත් ලෝකෙක ජීවත් වෙනවා.. අර මනුස්සයා කියන දේවල් අහගෙන ඉන්නවා..
ජනේලෙන් එහා පැත්තේ ලස්සන උද්‍යානයක් තියෙනවා.. ඒත් එක්කම ලස්සන විශාල නිල්වන් වැවක් තියෙනවා.. තාරාවෝ සහ හංසයෝ ඉන්නවා… පොඩි එවුන් බෝට්ටු වල යනවා.. තරුණ ආදරවන්තයෝ අත්වැල් පටලවගේන මල් අතරින් ඇවිදිනවා.. ඈතින් නගරය ලස්සනට පේනවා…
අනෙක් මනුස්සයා ඇස් පියාගෙන මේ දර්ශන මවාගෙන ඒවාගේ සතුටින් හිතෙන් කල් ගෙවනවා…
එක දවසක එතනින් නැට්ටුවෝ කණ්ඩායමක් ගියා, මේ මනුස්සයා අර ඇඳේ ඉන්න අනෙක් මනුස්සයාට විස්තර කරනවා.. අනෙක් මනුස්සයා ශබ්දයට සවන්දීගෙන හිතෙන් මවාගත්තා..
දින සති ගණන් ගෙවුනා..
එක උදෑසනක හෙදිය මේ දෙන්නව නාවන්න වතුර අරන් එනකොට ජනේලය ලග මනුස්සයාගේ නිසල සිරුර දැක්කා.. ඔහු ජීවිතයෙන් සමු අරන්.. කිසිම දුකක් නැතුව නින්දේදිම අවසන් ගමන් ගිහින්..
හෙදිය දුකින් රෝහල් සේවකයන්ට කතා කරලා සිරුර ඉවත් කලා..
පසු දිනක හොඳයි කියලා වෙලාවක් බලලා අනෙක් මනුස්සයා හෙදියගෙන් ඇහුවා ජනේලෙ ලග ඇඳට යන්න පුලූවන්ද කියලා..
හෙදිය කැමැත්තෙන්ම ඔහුව ඇඳට මාරු කලා..
සෙමෙන්, වේදනා විඳිමින් වැලමිටට බරවෙලා ජනේලෙන් එළිය බැලූවා.. එළියේ තියෙන ලෝකය දිහා.. ඔහු දැක්කේ හිස් බිත්තියක්..
ඔහු හෙදියගෙන් ඇහුවා මට මගේ කාමරේ හිටිය මනුස්සයා ජනේළෙන් පිටත ලෝකය ගැන කීව දේවල් මොනවත් නැහැනේ, හිස් බිත්තියක්නේ තියෙන්නේ කියලා..
හෙදිය පිළිතුරු දුන්නා ඒ මනුස්සා අන්ධයි, මං හිතන්නේ නෑ එයා මේ බිත්තියවත් දකින්න ඇති කියලා…
සමහර විට එයාට “ඔයාව සතුටෙන් තියන්න ඕන වෙන්න ඇති.. ඔයාව ධෛර්ය්‍යමත් කරන්න ඕන වෙන්න ඇති.. ”
————————–————————
සමහර අය අපේ ජීවිත වලට එනවා.. අපෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔවුන්.. අපිව සතුටින් තියෙනවා.. අපිව ධෛය්‍යමත් කරනවා.. ජීවිතයට මුහුණ දෙන්න උදව් වෙනවා..
මටත් එහෙම පෞද්ගලික අත් දැකීම් තිඛෙනවා.. එක්කෙනෙක් නෙමෙයි, දෙතුන් දෙනෙක් එහෙම ඉන්නවා.. නම් සඳහන් නොකළත් මේ උපහාරය ඔබලාටයි.. ආදරෙයි අහස තරම්..
සමහර විට අද මම මේ තත්වෙ ඉන්නේ ඒවගේ අය නිසා වෙන්න පුලූවන්.. ඒකයි මම පහුගිය කතාවක කිව්වේ පවුල කියන්නේ තමන්ගේ ලේම වෙන්න ඕන නැහැ.. අපි වෙනුවෙන් කැපවෙන, ආදරේ කරන අය සමහර වෙලාවට අපේ පවුලේ අයටත් වඩා අපිව ආදරෙන් සෙනෙහසෙන් බලාගන්නවා..
by Danesh Edirisooriya | Mar 17, 2013 | Stories
ඇත්තටම අපිට යාළුවෝ ගොඩාක් ඉන්නවා. ෆේස්බුක් එක බැලුවහම ඕන කෙනෙක්ට ඒක තේරෙනවා… ඒත් කීයෙන් කී දෙනාද අපේ හදවතට ලංවෙලා ඉන්නේ… කීයෙන් කී දෙනාද දුකකදි අපේ ලග ඉන්නේ, අපිට අවශ්‍යතාවයක් වෙනකොට අපි ලග ඉන්නේ… එහෙම යාළුවො තුන්දෙනෙක් මටත් ඉන්නවා… මාලක පල්ලියගුරුගේ, අනෙක් කෙනා බුද්ධික වල්පිට සහ ඉමාලන් සමරතුංග.
අපි දැන් අඳුරගෙන අවුරුදු 7, 8ක් වෙනවා… ඒත් අපි තාමත් එකට ඉන්නවා… ඉස්කෝලේ යහළුවෙක්වත් එහෙම නැහැ සමහර වෙලාවට… අපි එකට වැඩ කලා…
කොහොමහරි පහුගිය අවුරුදු 8 ඇතුළත මගෙන්නම් එයාලට කිසිම දෙයක් වෙලා නැහැ… ඒත් මටනම් කියාගන්න බැරිතරම් දේවල් කරලා තියේ… විශේෂයෙන්ම මං කොළඹදි තනියම ඉන්නකොට අසනීප වුනහම බලාගන්නවා… ඒක ගොඩක්ම වැදගත් මට… මගේ අම්මා, තාත්තා නැතිවුණ වෙලාවෙ ඇඩුවේ මෙයින් එක්කෙනෙක්ගේ පපුවට තුරුල් වෙලා…
ඒ තරමටම අපේ පවුලටත් සමීපයි… මටත් සමීපයි… අම්මා කෙනෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ, විටෙක සහෝදරයෙක් වුණා, යහළුවෙක් වුණා…
මගේ ජීවිකයට ආ සම(හරක්) ගෙන් අන්තීමේදී ඉතිරිවුණ ආදරණීයම තුන් දෙනා ඔබයි… මේ උත්තමාචාරය ඔබ තුන් දෙනාටයි. හැමදාමත් මා ලගින් ඉන්න… මං ආදරෙයි අහස තරම්…
~මම ධනේෂ් මධුරංග~
ප‍්‍රසිද්ධියේ නම දැමීමෙන් ඇතිවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප‍්‍රකාශ කරමි. ඒත් හදවතේ තිබෙන මිත‍්‍රත්වය සගවාගෙන හිදින්නට නොහැකි නිසා මෙය දැමීමට තීරණය කලා…
by Danesh Edirisooriya | Mar 14, 2013 | Stories
මේ කියන්න යන්නේ ඊයේ මට වෙච්ච දෙයක්…
මං වැඩ ඉවර වෙලා හවස ගෙදර යනකොට බස් එකේ මං ඉස්සරහම ඉඳගෙන ගියේ… රාජගිරිය හරියෙදි ළමයෙක් වඩාගෙන ගෑණු කෙනෙක් නැග්ගා බස් එකකට. මුස්ලිම් ගෑණු කෙනෙක්. මගේ අතේ ලැප්ටොප් බෑග් එකයි, ඇඳුම් බෑග් එකකුයි තිබ්බා. ගොඩක් මහන්සියෙන් හිටියේ. ඒත් මං නැගිටලා ඒ ගෑණු කෙනාට සීට් එක දුන්නා. මට එහා පැත්තේ සීට් එකේ හිටිය මනුස්සයා මට බනින්න පටන් ගත්තා. ලැජ්ජා නැද්ද, සිංහලයෙක් නේද, මුන්ට සීට් දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මං සද්දයක් බද්දයක් නැතුව ඉන්න කෙනෙක්. ඒත් ඒ කියපු කතාවට මට 84000ට නැග්ගා. මං බස් එකේ හැමෝටම ඇහෙන්න කෑගහලා කීවා. ‘මේ මහත්තයා, මං දුන්නේ මගේ සීට් එක, එක ගැන ඔයා වද වෙන්න ඕන නැහැ. මට ඕන දේ මං කරන්නේ. ළමයෙක් වඩාගෙන ඉන්න මුස්ලිම් ගෑණු කෙනෙකුට සීට් එකක් දෙන්න එපා කියන තරම් පහත් තත්වයට සිංහල ජාතිය වැටිලා කියලද හිතන්නේ? ඒ තරම් පහත් තත්වයට අපේ ජාතිය වැටිලා නැහැ. අපේ ආගමට, ජාතියට අපි ගරු කරන්න ඕන තමයි. ඒත් මනුස්සකම කියන දේ තියෙන්න ඕන. ආගම, ජාතිය නොසලකා හැමෝම එකා වගේ ඉන්න ඕන කියලා ලොකුවට ෆොටෝ ගහල, වීඩියෝ කරලා, ආයතනවල දැක්මට, මෙහෙවරට ඒවා දාලා හිටියට වැඩක් නැහැ, ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නැත්තම්… මොන ආගමේ වුනත්, මොන ජාතියේ වුනත් අපි හැමෝම මිනිස්සු. බුදු දහමේ කියලා තියෙනවා මිනිස්සුන්ට වෛර කරන්න එපා කියලා. බලාගෙන ගියහම දැන් හැම එක්කෙනාම වගේ ඒකනේ කරන්නේ. ඔය විදිහට ගියොත් ලැජ්ජා වෙන්න ඕන අපි ගැන.
වලිවලට අර අදින පොරක් වගේ කෙනෙක් ඒ මනුස්සයා. ඒත් කටක් ඇරියේ නැහැ. බස් එකේ හිටපු හැමෝම හොඳ කීවා මට. අර ගෑණු කෙනත් මං දිහා බලලා අහිංසක විදිහට හිනා වුණා. කවුරු වුනත් මනුස්සයෝ. වෙන වෙන ප‍්‍රශ්න තියෙනම් ඒවා ඕනම විදිහකට විසඳගත්තට ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මනුස්සයෙක් විදිහට කරන්න ඕන දේවල් කරන්න අපි කොයි වෙලාවකවත් බය වෙන්න හොඳ නැහැ.
~සත්‍ය සිදුවීමකි~
by Danesh Edirisooriya | Mar 14, 2013 | Stories
එක ගැහැණු ළමයෙක් හිටියා. එයාගේ නම නෙත්මි. ඒ උනාට එයා උපතින්ම අන්දයි. වයසත් 21 විතර වෙනවා. ඇයගේ පෙම්වතා වුනේ නවිදු. ඇගේ පෙම්වතාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ ඔහු සැහේන්න දුරට නිෂ්ශබ්ද චරිතයක් නිසා වෙන්නැති කියලයි නෙත්මි හිතන් හිටියේ. නෙත්මි නවිදු හමුවුන හැමවෙලේම කිව්වේ.
“මම ඔයාව දැක්කොත් අනිවාර්යෙන්ම ඔයාව කසාද බදිනවා“ කියලයි.
ඔය විදියට දෙන්නටම හොරේන් කාලය ගෙවිල ගියාලු. නවිදු දවසක් නෙත්මිට කිව්වලු.
“නෙත්මි“
“ඇයි විදු“ ඇය ආදරේට ඔහුට කතා කලේ එහෙමයි.
“සුබ ආරංචියක් තියෙනවා පැටියෝ.“
“මොකක්ද?“
“ඔයාට ඇස් දෙකක් දෙන්න කෙනෙක් ඉදිරිපත්වෙලා කියලා. මැඩම් කිව්වා.“
“අනේ ඔය ඇත්තද විදු“
“ඇයි. මම කවදාවත් ඔයාට බොරු කියලා තියෙනවද?“
“අයියෝ විදු. ඔයානම්. මම ජිවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස් දෙකයි තියෙන්නේ.“
“මටත් දැන ගන්න කියන්න බලන්නකො එනම්.“ නවිදු එහෙම කිව්වේ නෙත්මිගේ අතක් හිමිට අල්ලන ගමන්. හරියට රිදෙයි වගේ හැගිමෙන්.
“පොඩ්ඩක් ඉන්නකෝ අනේ පනින් නැතුව. ඒ තමයි අද ඔයා ගෙනාව සුබ ආරංචිය.“
“අනික මොකක්ද?“
“ඒ තමයි ඔයා මට ආදරේයි කිව්ව දවස.“ නෙත්මි නවිදුට තුරුල් වෙමින් කිව්වා.
ඔයවිදියට දෙන්නා ආදරේ වින්දා. අපි කියමු මේ දෙන්නට කාගේවත් ඇස්වහක් වදින්න එපා කියලා. නවිදු කියපු විදියට ඇයට කවුද කෙනෙක් ඇස් දෙකක් පරිත්‍යාග කර තිබ්බා. වෙද්‍යවරු සැත්කම සාර්ථකව අවසන්කරා. ඇය වාසනාවන්ත උනා ඇය නොදුටු ලොකය දකින්න. ඇයට ඇතිවෙච්ච සතුට ඔයාලට හිතාගන්න පුඵවන්ද? ඇය තම පෙම්වතා හමු වෙන්න ගියා. ඒ ගියේ ඇය බලන්න ආවේ නැත්තේ ඇයි කියලා අහන්න. ඇයට ඔහු හමු උනා. ඔබ මොකක්ද හිතන්නේ.
නෙත්මි පුදුම උනා, මොකද? ඇගේ පෙම්වතාත් අන්ද නිසා. ඊට පස්සේ නවිදු ඇහුවා.
“මාව කසාද බදිනවාද කියලා“
“ඔයාට පිස්සුද? මට බැහැ අන්දයෙක්ව බදින්න.“
ඇය ඉතාම පහත් විදියට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා. නවිදු හිනාවෙලා එතනින් ඉවත්උනා. අයින්උනා කියන්නේ නවිදු නගරේනුත් පිටවෙලා ගියා. ඒ ඇයට තමාව ඇකිමත් කරදරයක් වෙන්න ඇති කියල වෙන්න ඔනේ.
නෙත්මිට ඔහුගෙන් ඇත් උනත් ඇයට ජිවිතේ ලොකු හිස්බවක්දැනුනා. කාලය හිමිට ගෙවිල ගිහින් ඇයගේ උපන්දිනය දවසත් ලැබුවා. ඇය දැනන් හිටියේ නැහැ ඇයට හොදම උපන්දින තැග්ග ගේන්නේ කව්ද කියලා. නමුත් ඇයට හුග කාලයකට පස්සේ නවිදුව මතක් වුනා. ඒ ඇයි දන්නවද? ඒ තමයි ඇයට මුලින්ම උපන්දින තැග්ග ගෙනත් දෙන්නේ නවිදු විමයි.
ඇයගේ උපන්දින සාදයේදි ඇයට සැහෙන්න තැගි බොග ලැබුනා. ඔය අතරේ ඇගේ නේවාසිකාගාරයේ මැඩමුත් ආවා. ඒ ඇගේ ඇරයුමකට. නෙත්මිට හැමදේම හරියට සිදුවුනත් නවිදුගේ හිස්තැන ලොකුවට දැනුනා. සාදය අවසානයේ මැඩම් ඇයව පසකට කැදවා මොකුත්ම නොකියා සුදු පැහැති කවරයක් ඇයට දිලා යන්න ගියා. ඇයට අමුත්තක් සමග මැඩම් ගැන පුදුමත් හිතුනා. ඇයි ඇය මෙහෙම කලේ යන්නයි.
ඇය කවරය බැලුවත් එහි කිසිවක් සදහන්ව තිබුනේ නැහැ. ඇය කවරය විව්තකරාත එහි මුලින්ම තිබුනේ ඇගෙයි නවිදුගෙයි එකට සිට ගන්නා ලද ඡායාරුපයක්. එහි පිටුපස මෙසේ සදහන්ව තිබුනා.
“සොදුරිය මගේ ඇස් දෙක හොදට පරිස්සන් කරන්න. ඒකයි මගේ උපන්දින තැග්ග.“ යනුවෙනි.
————————–————————
පොඩ්ඩක් හිතලා බලන්න… සමහරවිට ඔයාටත් මේ වගේ ආදරේ කරන කෙනෙක් ඇති… ඒත් ඒ ආදරේ ඔයා හඳුනාගෙන නැතිව ඇති… වචන වලට නෙමෙයි, හදවතට ඇහුම් කන් දෙන්න… ඒත් මේ කතාව දොස්තර කෙනෙක් කියෙව්වොත්නම් කියයි හදවතට කතා කරන්න බෑ කියලා… එයාලට ඉතින් ආදරේ සිතේ ඇතිවන හැගීමක් විතරනේ… බයොලොජිකල් තේරුමකින් (Biological meaning or Medical term) ආදරේ විස්තර කරන්න බෑ….
ආදරේ දිහා ආදරෙන් බලන්න… ආදරවන්තයෙක් විදිහට… එදාට ඔයාට හැබෑ ආදරේ තේරෙයි…
ෆේස්බුක් එකේ තිබ්බ කතාවක් චතුර ධනංජය විසින් දිගහැර පසුව ලියන ලද්දකින් උපුටා ගන්නාලදි… ගොඩාක් පරණ එකක් වුනත් ආයෙත් දැන්මේ වැදගත් කමක් තියෙන නිසා…
by Danesh Edirisooriya | Mar 12, 2013 | Stories
ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා මට වෙච්ච දෙයක් කියන්න. පරණ දෙයක් නම් නෙමේ. අද උදේ වුන දෙයක්…
මං ඔෆිස් එන්න කියලා උදේ බෝඩිමේ ඉඳන් එනකොට ආනන්දෙ ලගින් පාර පනින්න තියෙන කහ ඉර ලගට වෙලා මං හිටියා… ලයිට් එක රතු පත්තු වෙලා තිබ්බේ. එහා පැත්තේ ඉඳන් දෙතුන් දෙනෙක් පාර පැනලා ආවත් ලයිට් එක කොල පත්තු වෙනකම් මං හිටියා. එතකොටම නංගි කෙනෙකුත් ආවා පාර පනින්න. දැන් මං මේ නංගිට හිත ගිය එක ගැන නම් නෙමෙයි කියන්න යන්නේ. එයත් බලාගෙන ඉන්නවා මං පාර පනිනකම්. දැන් විනාඩි 2ක් විතර ගියා. තාමත් රතු. 6 වසරේ විතර වෙන්න ඇති පොඩි මල්ලිලා ටිකකුත් ඇවිත් පාර පැනලා ගියා වාහන එන අතරේ. මං පැන්නේ නැහැ. අර නංගිත් මං පනිනකම්ම ඉන්නවා. පරක්කු වෙන නිසා මාත් අර මල්ලිලත් එක්කම පාර පැන්නා. එතකොට අර නංගිත් පාර පැන්නා මාත් එක්කම…
ඇත්තටම සිද්ධිය මේකයි… පුංචි කාලේ ඉඳන්ම තාත්තා තමයි මාව පාර පැන්නුවේ. උසස් පෙළ පංති යනකොටත් අවුරුදු දෙකම තාත්තා ආවා. උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් කුරුණෑගල ක්ලාස් එක ලගට වෙලා ඉන්නවා. කොළඹ ආවත් එහෙම්මමයි… මුලින්ම 2009 කොළඹ ජොබ් එකකට ආවට පස්සෙත් තාත්තා ආවා… එයයි පාර පැන්නුවේ… ඒත් කොළඹ ඇවිත් මාස 4ට පස්සේ තාත්තා නැති වුනා. එදා ඉඳන් හරි අමාරුවෙන් මං පාර පනින්නේ… ගොඩාක් වෙලා ඉන්නවා කහ ඉර ලග වුනත්… ඒක පුරුද්දකට ගිහින්…
අනේ අද මගේ තාත්තා හිටියනම්…
සත්‍ය සිදුවීමකි
~ධනේෂ් මධුරංග – නිර්මාතෘ ආදරෙයි අහස තරම්~
by Danesh Edirisooriya | Mar 5, 2013 | Stories
“මගෙ පුතේ,වෙලාව හරි නේද රත්තරන්,දැන් නැගිටලා මූණ කට හෝදගත්තනම්”….උදේන්ම ඇහෙන අම්මගෙ ඒ වචන ටික මට හොඳටෝම හුරුයි.අම්මගෙ කටහඬින් ඇහෙන ඒ වචන ටික නැත්නම් කවදාවත්ම ඉර පායන්නෙ නැති වෙයි,ඒ වගේම මට උදේ පාන්දර නැගිටින්න බැරි වෙයි කියලා මට හිතුණු වාර අනන්තයි.ඒ තරමටම මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක්.ඔයාලට ඒ ගැන හිතාගන්න පුලුවන්නෙ.ඉතින් උදේ නැගිට්ට ගමන් අම්මගේ රත්තරන් මුහුණට පස්සෙ මගෙ හිතට එන්නෙ මම අම්මට පස්සෙ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන ඒ ලස්සන සුදුම සුදු මුහුණ.ඒ මුහුණට මං කොයිතරම් නම් ආදරෙයිද?ඒ ආදරණීය මුහුණ දවසකට කොයිතරම් වාර ගණනක් මතකයට එනවද කියල මටවත් ගණන් කරන්න බැරි තරම්.හැබැයි එහෙම මතකෙට එන හැම වාරයකම මට මාවත් අමතක වෙන එකනම් ඇත්ත…..
අදත් මම බස් එකෙන් බැහලා හති දාගෙන ගල් බැම්ම දිගේ දිව්වෙ හිනා වෙවි.දකින අයට නම් හිතෙනවා ඇති මම ඔලිම්පික් වලට දුවන්න පුරුදු වෙනවා කියලා.ඒත් මට වටේ පිටේ ඉන්න කිසිම කෙනෙක් ගැනවත්,වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැනවත් කිසිම ගාණක් නැහැ.මම එක පිම්මට දුවගෙන අවේ අපි දෙන්න වෙනදට මුණගැහිලා කථා කර කර ඉන්න ඒ සිමෙන්ති බංකුව ගාවට.ඔයා මාව දැකල බොරු තරහක් මූණට මවාගෙන අහක බලාගත්තා.මම ඇවිල්ලා සද්ද නැතුව ඔයා ගාවින් ඉදගත්තා.ඔයා බංකුවෙ ටිකක් එහාට ගියා.මම තව ටිකක් ඔයාට ළං වුණා.ඔයා තව ටිකක් එහාට ගියා.ආයෙත් මම ඔයාට ටිකක් ළං වුණා.ඔයා ආයෙත් තව ටිකක් එහාට ගියා.මට තනියම හිනා.එත් ඔයාගෙ මූණෙ අර මවා ගත්ත තරහා පාට තාමත් එහෙන්මමයි.අන්තිමට ඔයාට තව එහාට යන්න බැරි තරමටම ඔයා බංකුවෙ අයිනටම ගිහින් තිබ්බා.ඒක දැකපු මම තව ටිකක් ඔයාට ළං වුණා.තව එහාට යන්න බැරි නිසා ඔයා මට ඔරවලා බංකුවෙන් නැගිට්ටා.ඒත් එක්කම මම ඔයාගෙ අතින් ඇදලා මගේ ගාවින් ඉන්දගත්තා.බොරුවට මගෙන් මිදෙන්න වගේ ඔයා උත්සහ කළත් මම ඔයාව තදින් අල්ලගෙනම හිටියා.මගෙන් මිදෙන්න වගේ දැගලුවට ඔයාට මගෙන් මිදෙන්න කිසිම උවමනාවක් නැහැ කියලා මං දන්නවා.ඒකයි මම තවත් තද කරල ඔයාව මගේ පපුවට තුරුල් කරගත්තේ.ඒත් ඔයා අමනාපයෙන් වගේ අනිත් පැත්ත බලාගෙන හිටියා.මට තනියම හිනා.වරක් හැරිලා මගේ දිගා බලපුවහම මම හිනා වෙනවා දැකලා ඔය ආයෙත් අහක බලාගත්තා.ඔයාටත් ලාවට හිනාවක් යන හැටි මං දැක්කා.මම ඔයාගේ මූණ මගේ පැත්තට හරවගන්න උත්සහ කළත් ඔයා හරිම අකීකරුයි.අයෙත් අනිත් පැතතට හැරුණා.මම තද කරල බලෙන්ම ඔයාගේ මූණ මගේ පැත්තට හරවගත්ත ගමන්ම මගේ තොල් වලින් ඔයාගෙ තොල් දෙක ග්‍රහණය කරගත්තා.ඔය මගෙන් මිදෙන්න පුදුම උත්සහයක් ගත්තා.ඒත මම තවත් හයියෙන් ඔයාව මගේ ඇඟට තද කරගෙන මම කර කර හිටපු වැඩේ දිගටම කරගෙන ගියා.මුලින්ම ලොකු වෙලා හයියෙන් හයියෙන් ඇහිපිල්ලම් ගහපු ඒ දුඹුරු පාට ඇස් දෙක ටික ටික පුංචි වෙලා යාන්තමට පියවෙනවා මං දැක්කා.ඒත් එක්කම මගේ ඇස් දෙකත් යාන්තමට පිය වුණා.දෙන්නා ඒ විදිහට කොච්චර වෙලාවක් හිටියද කියලා අපි දෙන්නටම හිතා ගන්න බැරි වුණා.එහෙම වෙච්ච පළවෙනි වතාව ඒක නෙමේ වුණත්,ඒ වගේ මොහොතවල් හුඟක් අපේ ජීවිත වල තිබ්බත් ඒ හැමවතාවක් වගේම මේ මොහොතෙත් මට හිතුණෙ ඒ අපි හමුවෙච්ච පළවෙනි වතාව කියලා.ඒ තරම්ම ඒ මොහොත සුන්දරයි.
එක පාරටම මොකක්දෝ මතක් වෙලා වගේ මගෙන් මූණ ඉවතට ගත්ත ඔයා”මම තරහයිනෙ ඔයත් එක්ක.ඉතින් තරහා අයට මම මේවා දෙන්න නැහැ” කියලා ආයෙත් අහක බලාගත්තා.මම හෙමින් නැගිටලා ඇවිත් බංකුව ගාව දණ නමාගෙන ඔයාගෙ අතින් අල්ලගෙන ඔයාගෙ මූණ දිහා බලල අහිංසක විදිහට හිනා වුණා.”ඔය කපටි හිනාවට මං අද අහුවෙන්නෙ නැහැ”.නෝක්කාඩු ස්වරයෙන් ඔයා එහෙම කිව්වට ඔයා එහෙම කියපු පළවෙනි වතාව ඒක නෙමේ කියල ඔයත් දන්නවා.මාත් දන්නවා.ඒත් එක්කම මේ කපටි අහිංසක හිනාවට ඔයාගෙ හිත හැමදාම මෙල්ල වෙනවා කියලත් ඔයා හොඳටම දන්නවා.ඒත් රත්තරන්…මගෙ හිනාව අහිංසක වුණාට කපටි නම් නැහැ.එහෙම කපටියි කියල හිතෙනවනම් ඒ කපටි හිනාව දාන්නෙත් ඔයාව යාළු කරගන්න විතරයි.”ඔයා හැමදාම මෙහෙමයි.වෙලාවට වැඩක් කරන්නෙම නැහැ.මුණගැහිච්ච පළවෙනි දවසෙ ඉදලම එහෙමයි.ඔයා නම් හදන්න පුළුවන් කොල්ලෙක් නෙමේ.දගකම නම් තියෙනවා ඉහටත් උඩින්.වයසටත් වැඩියෙන්.හැබැයි වෙලාවට වැඩක් නම් කරන්නෙ නැහැ”ඔයා ගිරවියක් වගේ එක හුස්මට එහෙම කියාගෙන කියාගෙන යද්දි මම ආසාවෙන් ඔයාගෙ මූණ දිහා බලාගෙන ඔයා කියන විදිහටම ඇද කර කර ඔයා කියන එකම කියෙව්වා.හැමදාම ඔය බැණුම මම අහනවනෙ.ඉතින් ඒ කියන වචන ටික මට වතුර වගේ කට පාඩම්.ඔයා ආයෙත් තරහා මූණක් මවාගෙන මගෙ ඔලුවට යාන්තමට ටොක්කකුත් ඇනලා,මගේ කම්මුල් දෙක තදින් මිරිකන ගමන් හිනාවෙවී “මේ මෝඩ කොල්ලට මම මොකට කැමති වුණාද මංදා,මේ නැහැදිච්ච කොල්ලට මම මොකට මෙච්චර මැරෙනවද මට තෙරෙන්නෙ නෑ”කියද්දි සත්තයි,මට ඔයා ගැන දැනෙන ආදරේ කියාගන්න බැරි තරම්.”මං වගේ කොල්ලෙක් ඉතින් ඔයාට ලෝකෙ පීරුවත් හොයාගන්න බැහැ.ඔයා දන්නවද ඔෆිස් එකේ කෙල්ලො මට කොයිතරම් ට්‍රයිද කියලා.ඔයාට ලැබිලා තියෙන්නෙ දියමන්තියක් වගේ කොල්ලෙක් හරිද නංගී.ඒ හින්ද ඒ දියමන්තිය පරිස්සම් කරගන්න.නැත්නම් වෙන කෙල්ලෙක් හොරෙන් ඇවිත් එ දියමන්තිය හොරෙන්ම අරගෙන යයි”.එහෙම කියලා මම හිනා වෙනකොට ඔයාටත් හිනාව නවත්තගන්න බැරි වුණා.හිනාවෙන ගමන්ම “අප්පෝ.වැඩේමයි.ඉතින් ඔච්චර ඔය මැරෙන්න හදන ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තිබ්බනේ.ඇයි මට කැමති වුණේ”නෝක්කාඩු ස්වරයෙන් ඔයා එහෙම ඇහුවා.එහෙම ඇහුවට ඔයා මාව කාටවත් දෙන්න කැමති නැහැ කියල මං දන්නවා.”මොනා කරන්නද?මගේ අභාගෙ තමයි ඉතින්”කියල මම හිනා වෙද්දි,”ආ ඇත්තද,එහෙනම් ගිහින් වාසනාවන්ත චූඩාමානික්ය්‍යක් හොයාගන්න එකනෙ ඇත්තෙ.මට මොකෝ”කියල කියද්දි මට ඔයාව තව පොඩ්ඩක් තරහා ගස්සන්න හිතුණා.ඈත්තමයි.ඔයා මාත් එක්ක රණ්ඩු කරනකොට පුංචි බබෙක් වගේ.”මොනා කරන්නද ඉතින්,චූඩාමානික්ය්‍යක් ලැබෙන්න ඉස්සෙල්ලා උරචක්කරමාලාවක් බෙල්ලට වැටුණනේ”කියලා මං හිනා වෙවී ඔයා දිහා බැලුවා.ඒ සුදු මූණ රතු වෙලා,ඇස් දෙකේ ලොකු කඳුළු බින්දු දෙකක් බොඳවෙලා තිබුණා.මට දුක හිතුණා.කරපු විහිළුව ඔයාට තදින්ම දැනිලා කියලා එතකොටයි තේරුණේ.”අනේ සොරි පැටියෝ.මං විහිළුවක්නෙ කළේ.ඔයා ඇරෙන්න බෝනික්කෙක් වගේ ලස්සනම ලස්සන,හොඳම හොඳ කෙළි පැටික්කියෙක් මට කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි.මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලා මම.ඒ ඔයා වගේ කෙල්ලෙක් මට ඉන්න නිසා”.මං එහෙම කියද්දි ආයෙත් අර රතු වෙච්ච මූණට හඳ පෑයුවා වගේ එළිය වුණා.අනේ…ඔයාගෙ මූණ වගේම ඔය හිතත් කොයි තරම්නම් අහිංසකද….
ආයෙත් මොකක්දෝ හදිස්සියෙන් මතක වෙලා වගේ ඔයා ඔයාගෙ හෑන්ඩ් බෑගයට අතදාලා මොනාද හොයන ගමන්”මේ නෝටි කොල්ලගෙ නෝටි වැඩ හින්දා මට ඒකත් අමතක වුණා”කිව්වා.ඒත් එක්කම හෑන්ඩ් බෑග් එකෙන් එළියට ගත්තු නිල් පාට ලස්සන කොළයකින් ඔතලා නිල් පාට රිබන් එකකින් ගැටගහලා තිබ්බ පොඩි පෙට්ටියක් මගේ අත උඩින් තිබ්බා.මම මේ මොකක්ද කියලා අහන්න වගේ බැල්මකින් ඔයා දිහා බලද්දි “ඕපන් කරල බලන්න” කියලා ඔයා කිව්වා.මම ලස්සනට ඔතලා තිබ්බ ඒ පෙට්ටිය හෙමින් හෙමින් ඕපන් කළා.ඒ පෙට්ටිය ඇතුළෙ තිබ්බේ ලස්සනම ලස්සන රිදී පාට අත් ඔරලෝසුවක්.මට එක පාරටම ඔයා දිහා බැලුණා.”ඇයි මට මෙච්චර වටින දෙයක් ගත්තේ” එහෙම අහනවත් එක්කම මගෙ ඇස් දෙක බොඳ වුණා.”ඔයාට ගන්නෙ නැතුව මම වෙන කාට ගන්නද හිරූ.මට ඉන්නෙ ඔයා විතරෙනෙ.මං ඉන්න කාලෙ…නෑ..මේ..මේ.. මං කිව්වෙ…ඔයාව මම පුළුවන් තරම් සතුටින් තියනවා කියලා..ඔයා තමයි මට හැම දෙයක්ම.ඒක නිසා ඔයාගෙ සතුට මට හුඟක් වැදගත්.ඒ නිස මගෙ පුංචි පණ්ඩිතයන් වහන්සේ,තව කියවන්නෙ නැතුව මේක භාරගන්න.හරිද? “ඔයා එහෙම කියද්දි ඔයාගෙ ඇස් දෙකේ පිරිලා තිබ්බ ආදරේ දැකලා මට හිතුණා මං කොයිතරම් නම් පිං කරල තියෙනවද කියලා.”මගේ සතුට තියෙන්නෙ මේ තෑගි වල නෙමේ පැටියො.ඔයා ගාව තම්යි මගේ සතුට තියෙන්නෙ”.මම එහෙම කිව්ව නෙමේ.මට කියවුණා.”ඒක මං දන්නවා බබෝ.ඒත් මේ මං සතුටින් දේවල්නෙ”.මම එතනින් එහාට මුකුත් කියන්න ගියේ නැහැ.දුප්පත් කොල්ලෙක් වුණත් ඔයාගෙ ආදරේ නිසා මං කොච්චර පෝසත්ද කියලා මට හිතුණා.ඔයා මට දීලා තියෙන වටිනා තෑගි වලට හරියන්න මට දෙන්න පුළුවන් වුණේ පුංචිම පුංචි,ඒ තරම් වටින්නෙ නැති දේවල්.මම ගන්න පඩියෙන් ගෙදරට වියදම් සල්ලි දීලා,අපි දෙන්න වෙනුවෙන් ගත්ත ඉඩමෙ ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවලා,ගමන් වියදම් වලට ගියාම මගේ අතේ ලොකු මුදලක් ඉතුරු වෙන්නෙ නැහැ.ආසාව තිබ්බත් වටිනා ලොකු දෙයක් දෙන්න තරම් ඔයාගෙ මේ දුප්පත් හිරූට තාම හැකියාවක් නැහැ.මං දෙන තෑගි වටිනාකින් අඩු වුණත් ඔයාට ඒවා හුඟක් වටිනවා කියලා මං දන්නව.මම කවදහරි ජීවිතේ ඉහළ තැනකට එනවමයි.එහෙම ඉන්න කාලෙකට මම ඔයාගෙ කාමරේ තෑගි වලින් පුරවනවා.ඔයාට කිසිම අඩු පාඩුවක් නොකර,දුකක් නොදී ආදරයෙන් බලාගන්නවා.මම හැමතිස්සෙම හිතෙන් එහෙම හිතනවා.මගේ ප්‍රාර්ථනාව කවදහරි ඉටුවෙන බව මං දන්නවා.මම හිතින් එහෙම හිතද්දි ඔයා පෙට්ටියෙන් ඔරලෝසුව ඉවතට අරන් මගේ අතේ බඳින ගමන් “බලමු මීට පස්සෙවත් වෙලාවට එයිද කියලා මාව හම්බුවෙන්න”. කියලා ලස්සනට හිනා වුණා.ඔහොම හෝරා කීපයක්ම රසබරව ගෙවුණා.දැනුනෙවත් නෑ.ඔයාගෙන් සමුගනිද්දී “හෙට නම් පරක්කු වෙන්න බැහැ ඔන්න.හරියටම 5.30 වෙනකොට ඇවිත් ඉන්න ඔනේ.හරිද?”කියලා ඔයා කිව්වෙ ඇඟිල්ලක් දිගු කරගෙන පොඩි ළමයෙකුට තරවටු කරන ස්වරූපයෙන්.මම හා කියන්න වගේ ඔලුව වැණුවා.ඔයා හිනාවෙලා මට පිටුපාලා ඈතට ඇවිදන් ගිහින් තිතක් වෙලා නොපෙනී යනකන්ම ඔයා දිහා මම බලාගෙන හිටියෙ දුකෙන්,ඒ වගේම හුඟක් ආදරෙන්.හෙට ආයෙත් හම්බුවෙනවා කියල දන්නවා වුණත් ඒ තාවකාලික වෙන්වීමත් මට දුකක්.ඔයාටත් එහෙමයි කියලා මං දන්නවා.හෙට අලුත් දවසක ඔයගෙ ලස්සනම ලස්සන සුදු මූණ ආයෙත් දකින බලපොරොත්තුවෙන් මම අද දවසට සමුදුන්නා.
ඊලඟ දවසෙ මම ඔයාව හම්බුවෙන්න ආවා.අයියෝ…හැමදාමත් වගේම මම අදත් විනාඩි පහක් පරක්කුයි.අද නම මම ඉවරයි.එහෙම හිතාගෙන අපි දෙන්නා මුණගැහෙන සුපුරුදු බංකුව ගාවට එනකොට ඔයා එතන හිටියෙ නෑ.පුදුමයි.හැමදාම මට ඉස්සෙල්ල ඇවිල්ලා ඉන්න එක්කෙනා අද තාම නෑ.අද මගේ දවස.අල්ලගන්න ඕනෙ ආපුවහම.ටිකක් අවුස්සන්න පුළුවන් අද.හිනාවෙවී එහෙම හිතන ගමන් මං බංකුවෙන් ඉදගත්තා.මිහිරි සිතුවිලි අතරෙ මං ටිකක් තනිවෙලා හිටියා.ඇත්තටම ආදරේ කොයිතරම් සුන්දරද?
එක පාරටම කල්පනා ලෝකෙන් මිදිලා මම මගේ අත් ඔරලෝසුව දිහා බැලුවා.වෙලාව 6.05.ඒත් ඔයා තාම නැහැ.මම වටපිට බැලුවා ඔයා එනවද කියලා බලන්න.ඒත් පේනතෙක් මානයක ඔයා නැහැ.මට කියල මොබයිල් එකක්වත් නැති එකේ පාඩුව දැනෙන්නෙ මේ වෙලාවට තමයි.මට එහෙම හිතුණා.ඇයි ඔයා පරක්කු?මගේ ඔලුවට එක එක දෙවල් එනවා.ඒත් එක්කම මධු හදිස්සියකදි කෝල් කරන්න කියලා දීලා තිබ්බ දුරකථන අංකය ගැන මට එක පාරටම මතකෙට ආවා.ඒ මධූගෙ ගෙදර දුරකථන අංකය.එකම එක පාරක් විතරක් ඇමතුමක් දීල තිබ්බ ඒ අංකයට කෝල් එකක් දෙනවද නැද්ද කියලා කල්පනා කළේ මධූගෙ ගෙදර සේවකයා සෙල්වම් ඇරෙන්න අපේ සම්බන්ධය ගැන දන්නෙ නැති මධූගේ පවුලේ අයට මම කවුද කියන එක ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණ නිසා.ජීවිතේ යම් තත්වයකට ඇවිත් කෙළින්ම මධුගේ ගෙදරට ගිහින් මේ සම්බන්ධය ගැන කථා කරන්නයි මට ඕන කම තිබ්බෙ.මධූත් ඒකට කැමත්තෙන් හිටියෙ.මම අයෙමත් වෙලාව බැලුවා.6.30ත් වෙලා.මම පාරෙන් අනිත් පැත්තෙ තියෙන කොමිනිකේෂන් එකට ගියේ කමක් නැහැ,ඕන මගුලක් වෙච්චදෙන් කියලා කෝල් එකක් දීලා බලනවා කියලා හිතාගෙන.අංකය ඩයල් කරද්දි හිතේ දෙගඩියාවක් තිබ්බෙ කවුරු කෝල් එක ආන්සර් කරයිද කියලා හිතුණු නිසා.හුඟක් වෙලා රින් වුණත් කවුරුත් ආන්සර් කළේ නැහැ.මම ආයෙත් ඩයල් කළා.ඒත් නැහැ.ආයෙමත් සැරයක් ට්‍රයි කළා.ඒත් එහෙන්මමයි.රිසීවර් එක තියන්න කියලා හදනකොටම එහා පැත්තෙන් කටහඬක් ඇහුණා.ඒ සෙල්වම්ගේ කියලා හඳුනගන්න මට වැඩි වෙලා ගියේ නැහැ.සිතට පොඩි සතුටක් ආවා.”සෙල්වම්.මම හිරුදික.සුදු බේබි ගෙදර ඉන්නවද?ඉන්නවනම් එයාට පොඩ්ඩක් කථා කරනවද?මම එයා එනකන් මඟට වෙලා බලාගෙන ඉන්නවා.එයා තාම නැහනෙ”.මම එක දිගටම කියාගෙන ගියා.සෙල්වම්ගෙන් කිසිම පිළිතුරක් නැහැ.”සෙල්වම්,මට සුදු බේබිට පොඩ්ඩක් කථා කරන්න ඕනෙ.මම සුදු බේබි එනකන් දැන් හුඟක් වෙලා ඉඳලා බලාගෙන ඉන්නෙ මඟට වෙලා”.මෙතෙක් වෙලා සද්දයක් නැතුව හිටිය සෙල්වම්ගෙ ඉකිගසන හඬත් එක්ක “සුදු බේබිට ආයෙත් හිරූ මාත්තියව හම්බුවෙන්න එන්න වෙන එකක් නැහැ හිරූ මාත්තියා”කියන වචන ටික ඇහුණම මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා.”ඒ..ඒ මොකද සෙල්වම්.සුදු බේබිට ගෙදරින් ප්‍රශ්නයක්ද?”මම කලබලයෙන් වගේ ඇහුවා.සෙල්වම්ගේ ඉකිබිඳිම තදින්ම ඇහෙන්න ගත්තා.මට ආවේ පුදුම කේන්තියක්.”කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවකො මනුස්සයො.බහුබූත කියවන්නෙ නැතුව”.මගෙ හඬේ තිබ්බ සැරත් එක්කම සෙල්වම්ගේ ඉකිය තවත් වැඩි වුණා.ඒත් එක්කම සෙල්වම් පැකිළි පැකිළි කථා කරන්න ගත්තා.”හිරූ මාත්තිය…සුදු බේබි…සුදු බේබි…ඊයෙ…ඊයෙ…ඊයෙ රෑ…හොෂ්පිටල් එකේදි….අනේ ශාමි ඇයි අප්පා මෙහෙම වුනේ ශාමි”සෙල්වම්ගේ ඉකිබිඳීම විලාපයකට හැරුණා.මගේ හිතේ කලබලය,බියත් එක්ක මුසුවෙච්ච කේන්තිය මම පුලුවන් තරම් හයියෙන් කෑගහලා වචන වලට පෙරළුවා.”කියපන් මිනිහෝ සුදු බේබිට මොකද…සුදු බේබිට අසනීපක්වත්ද…කියපන්…කියපන්.ඇයි උඹ කථා කරන්නෙ නැත්තෙ…සුදු බේබි හොඳින් නේද.මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියපන් මිනිහෝ.සුදු බේබිට මොකද?”සෙල්වම්ගේ ඉකිය විලාපයකට හැරෙන්නට වැඩි වෙලා ගියේ නැහැ.”සුදු බේබි හිරූ මාත්තියව දාල ආයෙත් එන්නෙ නැති දුර ගමනක් ගියා හිරූ මාත්තියා.”සෙල්වම්ට කියන්නට හැකි වුණේ එපමණයි.”කොහෙද මිනිහො සුදු බේබි මාව දාලා ගියේ…සුදු බේබිට මං නැතුව ඉන්න බැහැ…සුදු බේබිට එක දවසක්වත් මාව දකින්නෙ නැතුව ඉන්න බැහැ…ඉතින් කොහොමද සුදු බේබි මටත් නොකියා දුර ගමනක් යන්නෙ…කියපන් මට…සුදු බේබි කොහෙද ගියේ..”මගේ ඔලුව ගිනියම් වෙලා වගේ මට දැනුණෙ.ඒත් එක්කම එහා පැත්තෙන් නුපුරුදු කටහඬක් ඇහුණා.”හිරුදික පුතේ.මං මධූගෙ අප්පච්චි”.ඒ කටහඬ ශාන්ත විදිහට කිව්වා.”ඔව්..ඔව්..අප්පච්චි..ම්.මං හිරුදික.මං..මං..මං ගැන මධූ අප්පච්චිට කියලා නැතුව ඇති.මං…මං මධූට ආ..ආදරේ කරනවා අප්පච්චි”.මම පැටළි පැටළි එහෙම කිව්වා.ඒ වෙලාවෙ වචන ගළපගන්න තරම් හොඳ මානසිකත්වයක් මට තිබ්බෙ නැහැ.”මට මධු ඊයෙ සේරම කිව්වා පුතේ”මධූගෙ අප්පච්චි එහෙම කියද්දි මගෙ හිතට පොඩි අස්වැසිල්ලක් ආවා.”අප්පච්චි…ම..මධූ හොඳින් නේද…අප්පච්චි?”මම එහෙම ඇහුවා.”පුතේ.මම මේ කියන්න යන දේ අහන්න පුතාගේ හිත ශක්තිමත් කරගන්න”.මොන ගිනි ගෙඩියක් පාත් වෙන්නද යන්නෙ කියලා මට හිතාගන්න බැරි වුණා.අප්පච්චි මේ සම්බන්ධෙට කැමති නැහැ කියන්නවත්ද හදන්නෙ.මම ඊට ඉස්සර වුණා “අප්පච්චි,මං දන්නවා මං දුප්පත් කියලා.ඒත් මං දැන් හොඳ ජොබ් එකක් කරනවා.මට ප්‍රොමෝශන් එකකුත් ලැබුණා.මගෙ පඩියත් වැඩි වුණා.මම සල්ලි එකතු කරලා අපි දෙන්නගෙම කියලා ගෙයක් හදාගන්න ඉඩමකුත් ගත්තා.තව ටික කාලෙකින් සල්ලි එකතු කරලා පොඩි වාහනයකුත් ගන්නවා.මම මගේ දෙපයින් හිට ගත්ත දවසට මධූව කසාද බඳිනවා.එතකන් මට කල් දෙන්න අප්පච්චි.මම පොරොන්දු වෙනවා.මම මධූට කවදාවත් දුකක් දෙන්නෙ නැතුව ආදරෙන් බලාගන්නවා කියලා අප්පච්චි…ඇත්තමයි..මම පොරොන්දු වෙනවා”.මම එක හුස්මට එහෙම කියාගෙන ගියා.මං දන්නවා පුතේ…මං දන්නවා..ඒත්..” එහා පැත්තෙන් හීන් කෙඳිරිලි හඬක් ඇහුණා.”ඇයි ඒත් කියන්නෙ අප්පච්චි.අප්පච්චිට මාව විශ්වාස නැත්ද?”මම එහෙම ඇහුවා නෙමෙයි,මට ආයචනාත්මක හඬින් එහෙම ඇහුණා.”නෑ පුතේ.මට පුතාව විශ්වාස නැතුව නෙමේ.ඒත් …ඒත් අපි දැන් ඒකට හුඟක් පරක්කුයි පුතේ.මධූ…මධූ…මගෙ සුදු දුව..මගෙ පුංචි කෙල්ල…කාටත් වරදක් නැති මගෙ අහිංසකී….එයෙ රෑ…අපි හැමෝමව දාලා ගියා පුතේ.මට මගෙ බෝනික්කි නැති වුණා පුතේ”.මට මතක ඒ වචන ටික විතරයි.හාත්පසම කළුවර වෙනවා වගෙ දැනෙනවත් එක්කම මගේ හිසට යකඩ පොල්ලකින් ගැහුවා වගේ හැඟීමක් විතරයි මට අන්තිමට දනුනෙ…..
(මධූගෙ මරණයෙන් දින කීපයකට පසු )
මම සිහිය එනකොට මගේ ලෝකෙ උඩු යටිකුරු වෙලා තිබ්බා.සතුටින් පිරිලා තිබ්බ මගේ ලෝකෙට කාගෙහරි ඇස්වහ වැදිලා වගේ හැමදේම විනාශ වෙලා තිබ්බා.මගෙ සුදු බෝනික්කිව කවුදෝ හොරෙන් අරන් ගිහින් කියලයි මට හිතුණෙ…..
ඔයා මැරුණෙ මොළයේ තිබිච්ච ඉදිමුමක් නැත්නම් බ්‍රේන් ටියුමර් කියන තත්වයක් නිසාලු.මේ අසාධය්‍ය අසනීපය හින්දා ඔයා කොයිතරම් නම් දුකක්,වේදනාවක් විඳින්න ඇත්ද?ඔයාට නිතර නිතර හැදුණ ඔලුවෙ කැක්කුම සාමානය්‍ය ඔලුවෙ කැකුමක් නෙමේ,ඔය කියන අසනීපයෙ අතුරු ප්‍රථිපලයක් හින්දා ඇති වුණු දෙයක් කියලා නිකමට හරි මට හිතුණනම්,එදා මට ඔරලෝසුව තෑගි කරන වෙලාවෙ “මං ඉන්න කාලෙ…නෑ..මේ…මේ…මං කිව්වෙ ඔයාව මම පුළුවන් තරම් සතුටින් තියනවා කියලා”වැරදිලා කියවෙච්ච කථාවෙ තේරුම මට බින්දක් හරි මට දැණුනනම්,සත්තයි…මම ඔයාට කවදාවත් මැරෙන්න දෙන්නෙ නෑ.ලොකේ කොහේ ඇවිදලා හරි,කා ළඟ දණින් වැටිලා හරි,මේ ලෝකෙ ඔයාව සනීප කරන්න පුළුවන් දොස්තර කෙනෙක් ගාව වැඳවැටිලා හරි මම ඔයාව බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.මගේ ජීවිතේ නැති කරගෙන හරි මම ඔයගෙ ජීවිතේ රකිනවා.සත්තයි.ඒ තරමටම මට ඔයාව වටිනවා මධූ……
(මධූගෙ මරණයෙන් වසර කීපයකට පසු )
මම දැන් හුඟක් වෙනස් වෙලා මධූ.ඉස්සර වගේ මම දැන් දඟ නැහැ.මගේ ඒ දඟකාරකම ඔයත් එක්කම නැති වෙලා ගිහින්.ඔයා හැමදාම ආදරේ කරපු ඒ අහිංසක,කපටි හිනාවත් දැන් මගේ ළඟ නැහැ.ඒකත් ඔයත් එක්කම හොරු අරන් ගිහින්.වෙලාවට වැඩ කරන්නෙ නැති පුරුද්දනම් තාමත් එහෙන්මමයි..ඔයා හිටියනම් මගෙ කනෙන් මිරිකලා,හෙමින් ටොක්කක් ඇනලා”මේ කොල්ල නම් කවදාවත් හදන්න පුළුවන් කොල්ලෙක් නම් නෙමේ” කියලා කියයි හිනා වෙවී.මොනා නැතත් එක දෙයක් නම් මම වෙලාවට කරනවා.වරද්දන්නෙ නැතුව.හැමදාම හැන්දෑවෙ 5.30 වෙනකොට මම අර සුපුරුදු බංකුවට වෙලා තාමත් ඔයා එනකන් මඟ බලාගෙන ඉන්නවා.හරියටම 5.30 වෙනකොට.තත්පරයක්වත් පරක්කු වෙන්නෙ නැතුව මම එතනට එනවා පුරුද්දක් විදිහට.කොහේ හරි ඉඳලා ඔයා මාව බලන්න මෙතනට එයි කියන විශ්වාසයෙන් මම තාමත් මෙතනට වෙලා ඉන්නවා.ඔයාගේ මතකෙයි.ඔයා දුන්න ඔරලෝසුවයි විතරයි දැන් මගෙ තනියට මං ළඟ ඉන්නෙ…කොහේ හරි ඉඳලා මගෙ ළඟට දුවගෙන ඇවිල්ලා “මගෙ හිරූ” කියලා අනේ..ඔයා මට තුරුළු වෙනවනම්…ඔයා නැතුව මේ හිරුදිකට හුඟක් පාළුයි රත්තරන්.
–රනිල් ජීවන්ත–