Goals & Dreams

ඉලක්ක සහ සිහින 

Goals & Dreams

ඉලක්ක සහ සිහින 

ජිවිතය කියන්නේ කිසියම් කාර්යයන් එකින් එක සම්පූර්ණ කිරීම කියලා තමයි අපි ගොඩක් දෙනෙක් හිතන්නේ. වසර 13ක් පාසල් ගිහින් අධ්‍යාපනය කියන කාර්යය සම්පූර්ණ කළා කියලා මුලින්ම හිතා ගන්නවා. ඊට පස්සේ ඉගෙන ගත්තේ රස්සාවක් කරන්න කියලා හිතාගෙන රස්සාවක් හොයාගන්නවා. ඊටත් පස්සේ බහුතරයක් දෙනා විවාහ වෙන්න හිතාගෙනම ප්‍රේම කරන්න පටන් ගන්නවා. ප්‍රේමයේ අවසාන ප්‍රතිඵලය විවාහය කියලා හිතලා නීත්‍යානුකූලව විවාහ වෙනවා. විවාහයේ ප්‍රතිඵලය රටට දැයට වැඩ දායක දරුවන් බිහි කිරීම කියලා හිතාගෙන දරුවෝ හදනවා. ජීවිතයේ සැබෑ ධනය නම් දරුවන්ට ඉගැන්වීම කියලා හිතලා දරුවන්ට මහන්සි වෙලා උගන්වනවා.

තව ඔහොම කියන්න ගියොත් ගොඩක් ගොඩක් දේවල් කියන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මම කියන්න හදන්නේ අපි බොහෝ දෙනෙක් කාර්යයන් සම්පූර්ණ කරන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒවා සම්පූර්ණ නොවෙන තැනට අසාර්ථකත්වය කියලා සාමාන්‍යයෙන් කියනවා. දික්කසාදය, විභාග අසමත්වීම සහ තරග වලින් පැරදීම අසාර්ථකත්වය කියලා නම් කරනවා. එහෙත් ඒ දේවල් අසාර්ථකවීම් කියලා එක්වරම කියන්න බැහැ.

“ඇත්තටම ජීවිතය කියන්නේ රවුම් දෙයක් නොවෙයි. ජීවිතය ඉදිරියට ඇදෙන රේඛාවක්. සමහර වෙලාවට ඒ රේඛාව සරල රේඛීයව ඇදෙන්න පුලුවන්. ඒ වගේම තවත් වෙලාවක ඒක ECG පටයක හද ගැස්ම පෙන්වන අකාරයට උස් පහත්වීම් සහිතව අපිළිවෙලට ඇදෙන්නත් පුළුවන්. “

කොහොම හරි සිද්ධ වෙන්නේ අපි කරන දේවල් වලට අනුව අපගේ ජීවන රේඛාව ඉදිරියට ඇදීම තමයි. ජීවිතය ඉදිරියට අදින්නේ නැතුව ජීවිතය රවුම් කරන්න උත්සහා දැරීම තුළ බොහෝ දෙනාට එකම තැනක ශෝකයෙන් රැදෙන්න සිද්ධ වෙනවා.

ගේ ජීවිතේ හරි වෙනස්, සරළයි. හැමෝටම ඒක ගත කරන්න අමාරුයි. පුංචි පුංචි අවශ්‍යතා ටිකක් තියෙන්නේ.

සතියේ දවස් 5, උදේ 8 ඉඳන් සවස 5 වෙනකම් මං රස්සාවක් කරන්නේ නැහැ. ඒ වෙනුවට මං දවස් 365ම දවසට පැය 18ක් පඩි නැතුව වැඩ කරනවා.

ආදරය කරලා කසාදයක් කරගෙන දරුවෝ හදන්න මට අවශ්‍යතාවයක් නැහැ. කිහිපවතාවක් උත්සාහ කලත් විවිධ නොගැලපීම් නිසා වෙන් වෙන්න සිදුවුනා. ආදරයට අවධානය යොමු කල අවස්ථාවන් වලදී මුලික අරමුණෙන් පිට ගිය නිසා ගොඩක් කාලය නාස්ති වුනා. මං දස දහස් ගණනකගේ ආදරය සෙනෙහස ලබන කෙනෙක්. ගෙදර ඉන්නේ අම්මයි, අක්කයි, මල්ලියි, මායි. අනික් අය විවාහ වෙලා වෙනම ඉන්නේ. අතින් බත් කටක් කන්නේ කලාතුරකින්. නාලා ආවහම ඔළුව පිහදාන්නත් ඕන. වතුර එකක් පවා පොවන්න ඕන. බබෙක්ටත් අන්තයි. හුරතල් වෙවීමයි දවස පුරා ඉන්නේ. බබෙක් වගේ ඉන්න මට කොහෙත්ම බබෙක්ගේ වගකීමක් ගන්න බැහැ.

යාලුවොත් එක්ක ට්‍රිප් යන්න, ෆන් ගන්න මට වෙලාවක් නැහැ. මං හැමදාම ලංකාව වටේ ඇවිදිනවා. ෆන් එක මං අර්ථකථනය කරන්නේ වෙනස් විදිහකට. මං කරන දෙයින් මම තෘප්තිමත් වෙනවා.

ලස්සන කෙල්ලෙක් දකිනකොට “පට්ට කෑල්ල” කියවෙන්නේ නෑ මට, ආච්චි කෙනෙක් දකිනකොට “අන්න පට්ට ආච්චි කෙනෙක්” කියලා මට කියවෙනවා. මගේ හැඟීම් ඇවිස්සෙන්නේ එතකොට. හැඟීම් කීවහම මූණ අකුලගන්න එපා. රාගික හැඟීම් නෙමේ, ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, අනුකම්පාව මේ ඔක්කොම හැඟීම්.

ලොකු මන්දිර වලට මට ආසාවක් නැහැ. පුංචි පැලක් දකිනකොට “සුපිරි ගෙයක්” කියලා මං කියන්නේ. මොකද එතනට මට යන්න පුලුවන්. ඒ අයට පිහිට වෙන්න පුලුවන්. අවංකවම මං අපේ ගෙදර ලයිට්ස් ඔන් කරන්න ස්විච් තියෙන තැන්වත් මං දන්නේ නැහැ. මට හොයලා බලන්න උවමනාවකුත් නෑ.

දවසට එක වේලක් කාලා, කාර් එකේ නිදාගන්න දවස්ද තියෙනවා. ඒත් මං සතුටින්. මොකද මං හොඳටම හෙම්බත්වෙලා, බඩගින්නේ නම් ඉන්නේ ඒ කියන්නේ මං එදා ගොඩක් අයට පිහිටවෙලා. ඉතිං සතුටු වෙන්න කාරණා බොහොමයි.

කාට හරි උදව් කරල, මහ පාරේ, කුඹුරු මැද්දෙ, කැලෑ ඇතුලෙදි දණ ගහලා වැඳලා උම්මා එකක් ගත්තහම ලැබෙන සතුට වෙන දේකින් ගන්න බෑ.

මේ මගේ පෞද්ගලික ජීවිතය. ඒක මං කැමති විදිහට මං ගෙවනවා. මොකද ඒක මට තියෙන අයිතියක්. අනික් අය එය අදාල කරගත යුතු නැහැ.

පෞද්ගලික ජීවිතය ඔය විදිහට ගෙවුනට, පොඩි එකෙක් වගේ වුණාට. එයින් බාහිර සමාජසත්කාර ජීවිතය හාත්පසින්ම වෙනස්. පැය 24 පුරාම හිතන්නේ අනික් අයට පිහිට වෙන විදිහ. ගෙදරදි පුළුං කොට්ටයක්වත් උස්සන්නේ නැති මම ගෙයින් එළියට බැස්සහම 100 දෙනෙක් එකතුවෙලා කරන වැඩක් වුනත් තනියෙන් කරන්න පැකිළෙන්නේ නැහැ. කොල්ලෝ 10-20කගේ ශක්තිය මට තියෙනවා. පුංචි මකුළුවෙක්ට වුනත් බය මම එඩිතරව අනික් හැම දේටම මූහුණ දෙනවා…

ජීවිතය අභියෝග වලින් පිරිලා. ඒවට මං මුහුණ දෙන්නේ වෙනස් විදිහකට. සාමාන්‍ය ජීවිතයක් මං කවදාවත් ගෙවන්නේ නැහැ. මට අවශ්‍යතාවයකුත් නෑ.

බත් ටික කවන්න කවුරු හරි ඉන්නවනම් මේ රට වෙනස් කරන එක මට මහ දෙයක් නෙමේ, ෆෝන් එකකුයි, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි හොඳටම ඇති… (මේ ඔක්කොම පටන්ගන්නකොට මට තිබ්බේ ඔච්චරයි, අමතරව තිබ්බ එකම දේ ශක්තිමත් හිතක්…)

වෙනස්වූ ජීවිතයක සිහින 

රැකියාව සහ ව්‍යාපාර

  • කවදාවත් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. (කිසිම කෙනෙක් යටතේ වැඩ කරන්න කැමැත්තක් නැහැ)
  • අලුත් ව්‍යාපාර අදහස් ටිකක් තියෙනවා. ඒවා දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා.
  • මගේ ආයතනයෙන් නිර්මාණය කරන වෙබ් අඩවි කිහිපයකට හරි ලංකාවේ හොඳම වෙබ් අඩවිය සම්මානය ගන්න බලාපොරොත්තුවක් තියේ.
  • මගේ තාක්ෂණික ආයතනය ලංකාවේ හොඳම, විශිෂ්ට ගණයේ සේවාවන් සපයන තාක්ෂණික ආයතනයක් කරන්න සිහිනයක් තියේ.

සමාජසේවා කටයුතු

  • 2013 සිට අද වන තෙක් නොකඩවා මාගේ SamajaSathkara.lk පදනමට විශිෂ්ටතම සමාජසේවා වැඩසටහන / ආයතනය සම්මානය හිමිවුණා. එය නොකඩවා සෑම වසරකම ලබාගන්න බලාපොරොත්තු වෙනවා.
  • දැනට මාගේ පදනම හරහා අසරණ මිනිසුන් 110,000+ උදව් කරලා තියෙනවා. එය ඊළඟ වසර 10 තුල මිලියනය දක්වා වර්ධනය කරගන්න එක මගේ හීනයක්.
  • දැනට අසරණ අයට පිහිටවීමට මා කිලෝමීටර් ලක්ෂ 6කට වඩා සංචාරය කරලා තියේ. ඒ පොළොවේ සිට හඳට ඇති දුර මෙන් දෙගුණයකටත් වැඩි දුරක්. අසරණ මිනිසුන්ට පිහිට වීම වෙනුවෙන් වැඩිම දුරක් සංචාරය කල ලංකාවේ ලාබාලම පුද්ගලයා ලෙස වාර්තාවක් තියන්න මම කැමතියි. ඒක මගේ ලොකු සිහිනයක්.

පෞද්ගලික ජීවිතය

  • Exercise කරන්න වෙලාව නැති වුනත් Six Pack හදාගන්නනම් පොඩි අහිංසක සිහිනයක් තියේ.
  • දවස පුරා ආදරය කරන අය වට කරගෙන පොඩි එකෙක් වගේ හුරතල් වෙලා ඉන්න කැමතියි. වයස 30-40 වුනත් ඒ හිනයනම් එහෙම්මමයි.
  • නව නිර්මාණ ගොඩක් කරන්න කැමතියි.
  • ඉලෙක්ට්‍රොනික්ස් උපාංග, රොබෝලා වැනි  අධි තාක්ෂණික දේවල් එක්ක ජිවිතය ගත කරන්න කැමතියි.
  • දෙමල භාෂාව ඉගෙන ගන්න කැමැත්තක් තියේ, වෙලාව තමයි නැත්තේ.