මම ගගනි, ඇය දේදුණු. අපි දෙන්නා ගොඩක් ලග මිතුරියන් දෙන්නෙක්. අඹ යෙහෙලියෝ. මට තාම මතකයි අපි දෙන්නා එකට අත් දෙක අල්ලන් මොන්ටිසෝරී ගිය හැටි. අනේ ඒ කාළේට ආයිත් යන්න තියෙනවා නම්… එහෙනම් අපිට අද මෙහෙම දුකක් විදින්න වෙන්නැහැ.
ඔයා පන්තියේ මුල්ලකට වෙලා ඉදගෙන ඉන්න කොට මම ඇවිත් කතා කරල ඔයා එක්ක යාඵ වුනා. ඒ යාඵකම අදටත් නොනැසී තියෙන්නේ අපි සංසාරේ එකටම එන නිසා වෙන්න ඇති. අපි කෑවේ බිව්වේ එකට. අපි ලොකු වුනෙත් එකට. අපි දෙන්නට දෙන්න නැතුවම බැරි වුනා. අපි දෙන්නගේ පවුල් වල හැමෝමත් අදටත් ගොඩක් කිට්ටු මිතු දමක් පවත්වා ගෙන යන්නේ ඔයා නිසයි. ඒ වගේම අපි අද නැදැයොත් වෙලා.
”මැට්ටි, කොල්ලන්ට අහුවෙලා නිකන් ජීවිතේ අවුල් කර ගන්න එපා. ඉගෙන ගන්න කාළේ ඉගෙනීම. පස්සේ ඕන මගුලක් නටා ගන්නවා.” ඔයා මට පළවෙනි කොල්ල යාඵ වෙන්න ආපු වෙලාවේ අවවාද කරේ මගේ අම්ම වගේ. මම විභාගේ පාස් වුනේම ඔයා නිසයි.
මගේ ජීවිතේ මට නැතුවම බැරි එකම කෙනා ඔයයි දේදුණු. ජිවිතේ ඔයා මගේ අම්මා, සොයුරිය, යෙහෙළිය. ඔයා නිසා මට මාව ගොඩක් වෙනස් කර ගන්න පුඵවන් වුනා. ජිවිතේ හැමෝටම ඔයා වගේ අවංක මිතුරියන් ලැබෙන්න ඕන. ඔයාට මතකද අපි ගිය විනෝද ගමන්, බලපු ෆිල්ම්ස්? අම්මෝ එහෙම ලස්සන අතීතයක් ගැන හිතද්දීත් ගොඩක් ලෝබයි.
අහස් මගේ රත්තරං අයිය අද ඔයා එක්ක ආදරෙන් ඉන්න එක ලොකු සතුටක්. ඔයාව මගේ ලගින්ම තියා ගන්න ඕන නිසයි කෝම හරි ඔයාව අපේ අයියටම බන්දලා දුන්නේ. ඒකා කෝම හරි කැමති කර ගත්තේ සහෝදරකම පරදුවට තියලා. අයිය කුකුල් කේන්ති කාරය වුනාට ඔයා එක්ක ආදරෙන් ඉන්න එකයි මට තියෙන එකම සැනසීම.
අපි දෙන්නම එක දවසේ මැරී කරන්නයි ප්ලෑන් කරේ. අනේ ඒත් අපිට වුනදේ. මම කවදාවත් හිතුවේ නැහැ ඔයාට ඔහොම දෙයක් වෙයි කියලා. කොහොම උණත් ඔයාට මැරී කරන්න ලැබුණ එක ලොකු දෙයක් දේදුණු. ඔයා දන්නවද මම ඔයා බැදපු දවසේ ඇඩුවේ දුකට නෙමෙයි රත්තරං… දරා ගන්න බැරි සතුටට.
ගගනී… නංගෝ අපි යමු. මම දේදුණුව රෝද පුටුවෙන් තිබ්බා. අහස් කිව්වා. මම මගේ දින පොත වැහුවේ මෙතෙක් සිහි කල අපේ මතක සැමරුම් වලට මදකට විරාමයක් දෙමින්. මම අයියගේ කාමරයට යන කොට දේදුණු රෝද පුටුවේ හිද ගෙන හිටියේ උදේ පිපුණ සුවද දෙන අරලිය මලක් වගේ.
අපි යමු නංගි… වෙද මහත්තයා දෙන බෙහෙත් ටික ගන්්න දේදුණුගේ තාත්තා එක්ක යන්නත් ඕන. මට ඒවා ගැන තේරුමක් නැහැ. කොහෙද තමුසෙත් එළදෙනක්නේ. අහස් කියා ගෙන දේදුණුව කාර් එක ලගට එක්ක යන්න කාමරයට ආවා.
එළදෙන? මම තමුසෙට කියන්නෑ මී හරකා… මම මේ පාර වෙද මහත්තයට කියලා තමුසෙට බඩ විරේකයක් ලියවල දෙන්නම්. උදේට බාගෙට ගියාම ඔහොම තමයි.
නොදකින් තමුසෙගේ කට… ඔහොමද ඕයි ගෑණු හැදෙන්නේ? ගන්න පිරිමියා පව්. අයිය කියද්දී මම අයියට කිව්වේ, අනේ ඔව් ඔයා වගේ මී හරක් තව ඇතිනේ…
අනේ ගගනි අහස්ට මුකුත් කියන්න එපා. එයා පව්. දේදුණු තම කට හඩ අවදි කලා.
හත්තිලව්වේ මේකා උපන්ගෙයි හරකා, මැට්ටා, උලමා. ඒත් මේ ගොන් තඩියට මම ගොඩක් ආදරෙයි… අයියා දන්නවා මම එයාට ගොඩක් ගරු කරන්නේ මගේ පණ වගේ ඉන්න දේදුණුව ආදරෙන් රැුක බලා ගන්න නිසාත් කියල.
අයියේ අපි අද එන ගමන් මුහුද ලග නැවතෙමු ටික වෙලාවක් හොදේ… මම කිව්වේ කාර් එකට නගින ගමන්…
ඇයි ගොඩ පීනන්නද? අයියගේ කතාවට අපි දෙන්නම හිනා වුනා. අපි අපේ හිත් වලින් ගින්දර උහුලන්න පුරුදු වුණ පවුල්. කාගෙවත් හිත් රිදවන්න පුලූවන් අය අපේ පවුලේ නැහැ.
වෙදමහත්තය ලග ගොඩක් සෙනග හිටිය නිසා අපිට පිටත් වෙන්න හවස් වුනා. අයිය අපිව මුහුද ලගින් නවත්තලා එක්ක යන්න අමතක කළේ නැහැ. අපිට කන්න ගේන්න කියලා අයියා ගියා.
ගගනි අයියට මුකුත් කියන්න එපා. වැඩක් නැති මාව තනි නොකර බලා ගන්න එකම ඇති. මට මැරෙන්න බැරි ඔයාලගේ ආදරේට තියෙන ලෝබ කමට. දේදුණු හඩමින් ඒත් ඒ මුණ මට සගවන් ඈත ක්‍ෂිතිජය දිහා බලන් කිව්වා.
අනේ දේදුණු මම ඔයාට ආදරෙයි. අයියටත් එහෙමයි. මම එයාට ගරු කරනවා. එයාට ඉස්සර කකුල් අල්ලලා වැන්දේ පුරුද්දට. ඒත් දැන් මම වදින්නේ හදවතේ අපමණ ගරුත්වයකින්. ඒ ඔයාව ආදරෙන් බලා ගන්න නිසා දේදුණු. ඔයා ඇක්සිඩන්ට් උනාම පොරොන්දු වුන විදියට එයා ඔයාව මැරී කරයිද කියල මම බය වුනා. ඒත් මගේ රත්තරං අයිය ඔයා, මම වෙනුවෙන් ගත්ත තීරණේ හරිම උතුම්. මම ඔයාල දෙන්න දිහා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඔයාව මගේ ලගින්ම තියා ගන්න ඕන නිසයි මගේ අයියව ඔයාට දෙන්න මුල ඉදලම හිතා ගත්තේ.
මම ඔයාල දෙන්න එක්කම ඉන්නවා. මැරෙනකල්ම ඉන්නවා. මට කසාද ඕන නැහැ. අයිය බය නැතුව වැඩට යන්නේ මම ගෙදර ඉදන් ඔයාව බලා ගන්න නිසා. ඔයා මගේ පණ කෙල්ලේ. ඔයා නිසා මගේ ජිවිතේට ලැබුණ දේවල්් ගොඩයි.
වෙදමහත්තයා කිව්වා වගේ දැන් ටික ටික ඔයාගේ කකුල් සනීප වෙනවා. ඔයා දවසක නැගිටල උදේම නැගිටල අයියටයි මටයි තේ හදන් කාමරේට එන හැටි මම සිහි කරනවා.
මොකක් උඹ බලන් ඉන්නේ මගෙන් වැඩ ගන්නද? හිටපන් මම උදේම ඇවිත් ගහන්නම් හොද වතුර බාල්දියක්. දේදුණු හිනා වෙමින් කිව්ව කතාව අහන් හිටියේ මම අපමණ සතුටකින්.
අනේ දේදුණු මගේ කෙල්ලේ ඔයා මුලදි හිටිය දේදුණු වෙන්න. මටයි අයියටයි ඕන එච්චරයි. අන්න අයිය එනවා. අපි යමු. ? වුනා වැඞී. අපි දන්න පළාතක් නෙමෙයිනේ, අපි යමු අයිය. අම්මල බය වෙයි.
දේදුණු දවසක නැවත ඇවිදිනවා. ඒක මගේ හිත තදින්ම කියනවා. එදාට අපි තුන් දෙනා එකට පයින් ගොඩක් දුර වෙරළේ ඇවිද යයි…
සත්‍ය කතාවකි. නම් ගම් මනංකල්පිත නැත.
“ආදරෙයි අහස තරම්” රසිකාවියක් විසින් ලබාදෙන ලද්දකි…
“අපි දේදුණුට ඉක්මන් සුවය පතන්නෙමු. ඇය හදිසි අනතුරකින් ඔත්පලවී සිටී. සමහරවිට බෙහෙත් නොව ආදරය ඇයව සුවපත් කරාවී… ගගණි, අහස් මේ උත්තමාචාරය ඔබ දෙපළටයි…”







