by Danesh Edirisooriya | Dec 13, 2012 | Stories
උත්සාහය සහ විශ්වාසය මත ජයග්‍රහණය රඳා පවතින බව නොරහසකි. යමෙකුට උත්සාහය, විශ්වාසය, කැපවීම ඇත්නම් ඔහුගේ ජයග්‍රහණට කවරකටවත්, කිසිවෙකුටවත් නතර කල නොහැක්කකි. මේ බව සනාථ කරන අපූරු, රසවත්, කුඩා කතාවක් ජපානයේ බිහි වී ඇත. ඒ කතාන්දරය මෙසේයි.
මීට වසර ගණනාවකට ඉහතදී ජපානයේ එක්තරා සෙන්පතියකු වාසය කලේය. දිනක් ඔහුට තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල සේනාවක් සමඟ යුධ වැදීමට සිදු විය. මෙය සිදුකිරීමට ඉතා අපහසු ක්‍රියාවක් බව වැටහීමට සෙන්පතියාට වැඩි වේලාවක් ගත නොවීය. යුද්ධය ගැන දැනගත් විගස තම හමුදාවේ සේවය කරන සෙබලුන් පවා කිසිසේත් මෙම යුද්ධය, ජයග්‍රහණය අරමුණු කර නොගෙන සිදු කරන බවද හෙතෙම දැන සිටියේ ය. ඔහු සිතු දේ සැබෑවක්ම විය. තම ප්‍රතිවාදීන් පිළිබඳ දැනගත් හමුදවේ සෙබලුන් මානසික වශයෙන් විශාල ලෙස ඇද වැටිනි. ඔවුන්ට හැඟුනේ, තමන් තම සෙන්පතියාගේ නායකත්වය යටතේ සිදු කල නොහැකි යමක් සිදු කිරීමට උත්සාහ දරණ මෝඩයින් පිරිසක් ලෙසයි. සෙන්පතියාට මේ බව අවබෝධ විය. නමුත් කල හැකි අන් කිසිවක්ද නොමැත. කෙසේ හෝ මේ යුද්ධය ජයග්‍රහණය කොට තම භූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔහු සතුය.
යුද්ධයට පෙර දින රාත්‍රිය උදා විය. සියලු දෙනම මානසිකව පහක් තත්වයට ඇද වැටී සිටි අතර ඔවුන් දැනටමත් පරාජය බාරගත් අය බවට පත්වී සිටියහ. කෙසේ වෙතත් ඔවුන්ට යුද්ධය අතරදී පරාජය වුවහොත් පලායාටම හැකි පාලමක් ඔවුන්ගේ රාජ්‍ය අසල පිහිටා තිබිනි. පලායාමට තිබූ එකම මාර්ගය මෙය විය. මේ බව දැනගත් බුද්ධිමත් සෙන්පතියා කලේ මේ පාලමට විශේෂ ආරක්ෂාවක් යොදා එය රැක ගැනීමට කටයුතු කිරීමයි. කෙසේ නමුත් රාත්‍රිය එළඹී මුළු පළාතම ඝණ අන්ධකාරයෙන් වැසී ගිය විට එක්වරම පාලම දෙසින් මහා ශබ්දයක් ඇසිණි. සියල්ලෝම ඒ පිළිබඳව විමසිලිමත් වූහ. අවාසනාවකි, පාළම සතුරන් විසින් විනාශකර දමා තිබිණි. සිදු කිරීමට අන් කිසිවක් නැත. දැන් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිතය උදෙසා සටන් කිරීමටයි. අන් විකල්පයක් නොමැති හෙයින් සියලු දෙනා තම උපරිමයෙන් සතුරන් සමඟ සටන් කරන ලදී. යුද්ධය අවසාන විය. දැඩි අධිශ්ඨානයකින් සටන් කර ඔවුන් තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල වූ එම සේනාව පැරදවීටම සමත් විය. සමහර සතුරෝ පලා ගියහ.
ටික කලක් ගත වූ පසු ජයග්‍රාහී හමුදාවට නායකත්වය දුන් සෙන්පතියා සත්‍ය හෙලි කර සිටියේය. ඔහු පවසා සිටියේ එදා යුද්ධයට පෙර දින රාත්‍රියේදී පාලම විනාශ කර දමා තමන්ට පලා යාමට තිබූ එකම මාර්ගට විනාශ කර දැමුවේ තමා විසින්ම බවයි. අප හිතින් පරාජිතව, මානසිකව ඇද වැටී, මන්දෝත්සාහීව සිටින තාක්කල් ජයග්‍රහණය අපට නොපෙනෙන මානය තෙක්ම දුරට ඇදී යයි. නමුත් අපි කෙසේ හෝ බාධක කම්‍කටොලු මැදින් ජයග්‍රහණය පතාගෙන, එයම අරමුණු කරගෙනම කටයුතු කරයිනම් ජයග්‍රහණය අප වෙත ළඟා වීම කිසිවිටෙකත් නැවැත්විය නොහැක්කකි.
by Danesh Edirisooriya | Dec 12, 2012 | Stories
ජීවිතයේ කලාතුරකින් උදාවන මේ අවස්ථාවේ
මට සිහිවන එකම පුද්ගලයා මගේ
අප්පච්චී.
ඔයාගේ සෙනෙහස, ආදරය, උණුහුම නැති
අඩුව මට ගොඩක් දැනෙනවා…
මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ
රත්තරං අප්පච්චී….
by Danesh Edirisooriya | Dec 9, 2012 | Stories
ඇය සෑම දිනකම තමා කෑම සඳහා පුච්චා ගන්නා පාන් ගෙඩියට අමතරව තවත් අමතර පාන් ගෙඩියක් පුච්චා එය නිවසේ ජනෙල් පඩිය මත තබන්නට පුරුදුව සිටියේ ඒ අසලින් පාරේ යන බඩගිනි අයෙකුට එය ආහාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙනි.
ඒ අසලින් ගමන් ගත් විරූපි වකුටු ගැසුණු මිනිසෙකුද පුරුද්දක් සේම ඇය මෙසේ තබන පාන් ගෙඩිය රැගෙන යන්නට පුරුදු වූවා. නමුත් ඔහු කිසිදිනෙක ඇයට ස්තූති කරන්නට සිතුවේ හෝ නෑ. ඔහු කල එකම දේ නම් එසේ පාන් ගෙඩිය රැගෙන පිටව යන අතරතුර මෙසේ පැවසීම පමණයි. ”උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා”
මෙසේ සෑමදාම ඇය සාදා තබන පාන් ගෙඩිය රැගෙන යන මේ විරූපි මිනිසා ඇයට කිසිදිනෙක ස්තූති නොකිරීම ගැන ඇයට දිනෙන් දින ඇති වුනේ කෝපයක්. දිනක් ඇය ඒ තරහා අවසන් කරන්න සිතුවා, ඇය දෙවනුව පුච්චන පාන් ගෙඩියට වස එකතු කොට ජනෙල් පඩිය මත තැබුවා. ඒත් මොහොතක් යෑමට මත්තෙන් ඇය මේ කරන්නට යන පාපය ගැන ඇයට සිහියට නැඟුනා. වහාම ඒ පාන් ගෙඩිය ඉවත්කොට ඇය තම කෑම සඳහා පුච්චාගත් පාන් ගෙඩිය ජනෙල් පියන මත තැබුවා. වෙනදා මෙන්ම විරූපි මිනිසා පැමිණ එය රැගෙන යන්නට වුනා. ඒ වගේම තම පුරුදු වදන් වැළ පැවසීමටද ඔහු අමතක කළේ නෑ. ”උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා”
ඇය මෙසේ පාන් ගෙඩියක් පුළුස්සා තබන සෑම දිනෙකම ඊට සති ගණනකට පෙර නිවසින් බැහැරව ගොස් අතුරුදන් වූ තම එකම පුතා ආරක්‍ෂා කර දෙනමෙන් දෙවියන් යදින්නටද පුරුදුව සිටියා. එදිනම ඇය තමාහට නැවත පාන් ගෙඩියක් පුළුස්සා ගැනීමට සැරසෙද්දීම ඇයගේ නිවසේ දොරට යමෙකු තට්ටු කරන්නට වුනා. දොර හැර බැලූ ඇයට තම දෙනෙත් අදහා ගත නොහැකි වුනා, තම එකම පුතු ඉතාමත් දුර්වල තත්ත්වයෙන් දොර අසල සිටිනු දුටු ඇය වහාම ඔහු වත්තන් කරගෙන ඇඳ වෙත රැගෙන ගියා. එවිට ඔහු සෙමින් තමාට වූ අකරතැබ්බය විස්තර කරන්නට වුනා.
”මම එදා කැලය මැදින් යමින් සිටියදී කැලයේ වූ වළක් තුලට මම ඇද වැටුනා. දවස් 2ක් විතර මම සිහි නැතිව ඉන්නට ඇති. මගේ කකුලේ වූ තුවාලය නිසාම මට ඒ වළෙන් ගොඩ එන්නට නොහැකි වුනා. දින කිහිපයක් මම බේරා ගන්නා ලෙස කෑ ගසමින්, කෑමක් නැතුව සිටිද්දී ඒ අසලින් ගිය විරූපි වකුටු මනුස්සයෙක් මට පාන් කැබැල්ලක් වළ තුළට දමා යන්නට වුනා. ඔහු මේ විධියට මේ දින ගණන පුරාවටම මාහට තම පාන් ගෙඩියෙන් කොටසක් දුන්නා. අදත් ඔහු මට තමාගේ පාන් ගෙඩියෙන් කොටසක් වෙනදා මෙන්ම දුන්නා, ඒක කාලා මම අමාරුවෙන් එල්ලී වළෙන් ගොඩට ආවා.
ඒ මනුස්සයා නැති වෙන්න අද මම මැරිලා අම්මේ.”
ඇයට මේ කතාව ඇසෙද්දී තම ගත වාරු නැතිව ගියා. ඇස් වල කඳුලු පුරවා ගත් ඇය අද තමා කරන්නට ගිය දෙයින් තම පුතුගේ ජීවිතයද අහිමි වන්නට තිබූ බව සිතන්නට වුනා. ඒ සමඟම ඇයට අර විරූපි මිනිසාගේ වදන් මතකයට නැඟුනා. ”උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා” ඉතිං යාලුවනේ ඔයාලත් පුළුවන් තරම් අන් අයට උපකාර කරන්න. අන් අයට හොඳම කරන්න. එයින් පෙරළා කිසිවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නට එපා.
by Danesh Edirisooriya | Dec 9, 2012 | Stories
ඉන්දියාවේ මුම්බායි වල විදීයක ජීවත් වුණු වයසක මනුස්සයෙක් උදේම නැගිටලා උමං මාර්ගය දිගේ ගිහින් නගරේ කොනක ඉදගෙන හිගමන් යදින්න පුරුදු වෙලා හිටියා. ජීවිතේ හැම දවසකම නොවරදවා කරන මේ පුරුද්දට දැන් අවුරුදු 20 ක් විතර. ඒත් ඔහු තාමත් එකම තැන හිගමන් යදිනවා. හරිම අපිරිසිදු වෙච්ච විදීයේ තිබුන ඔහුගේ නිවසේ දුර්ගන්ධය හින්දා දවසක් අවට මිනිස්සු පොලීසියට පැමිණිලි කරා.
පොලීසිය මේ ගෙදර සුද්ද කරගෙන යනකොට තැනින් තැන බෑග් වල දාපු පොඩි කාසි, මුදල් බෑග් ගණනාවක් හම්බුනා. ඒ මේ මනුස්සයා අවුරුදු ගානක් හිගමන් යැදි සල්ලි.. පොලිස් නිලධාරින් මේ සල්ලි ගණන් කරා. ඔවුන්ට පුදුමයි ! එතන මිලියන ගානක සල්ලි. මේ හිඟන මනුස්සයා ලක්‍ෂපතියෙක්. නිවසත් පිරිසිදු කරලා මේ මනුස්සයා එනකන් පොලිස් නිලධාරින් බලන් හිටියා මේ සුබ ආරංචිය කියන්න. ගොඩාක් හවස් වෙලා වයසක මනුස්සයා තමන්ගේ ගෙදරට ආවා.
”මනුස්සයෝ, මේ ඇහුනද තමුන් දැන් ලක්‍ෂපතියෙක්. සල්ලිකාරයෙක්. තවත් හිඟා කන්න ඕන නෑ. අද ඉඳන් ලස්සනට ඉන්න තමයි තියෙන්නේ…” මේ මනුස්යාය මුකුත් කිව්වේ නැ. ගේ ඇතුලට ගිහිල්ලා දොර වහගත්තා. පුදුමේ කියන්නේ ඊළග දවසෙත් පුරුදු වෙලාවට, පුරුදු විදිහටම, පුරුදු තැනම හිගමන් යදින්න මේ පුද්ගලයා ගියා. මේක ආරංචි වුණු පොලීසියේ කිහිප දෙනෙක් හවස මේ මනුස්සය මුණ ගැහෙන්න ඇවිත් කාරණය විමසුවා. එතකොට මේ මනුස්සයා කිව්වේ මෙච්චරයි…
”අනේ මහත්තයෝ, මම සතුටෙන් කරන එකම දේ හිඟා කන එක විතරයි.” පුදුමයි නේද? එක් එක් අයෙකුගේ සතුට කියන දේ එක් එක් කෙනෙකුට සාපේක්‍ෂව වෙනස් වෙනවා. මෙන්න මේ දේ කරල සතුටින් ඉන්න කියල අපිට තවත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒ කෙනා සතුටු වෙන්නේ වෙනස්ම විධියකට වෙන්න පුළුවන් නිසා. කෙනෙක් බොහෝම සතුටින් කරන දෙයක් කෙනෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්න එක දෙයයි, තමුන් කරන මොන දේ වුනත් සතුටින්, ආත්ම තෘප්තියකින් යුතුව කරන එක විතරයි.
by Danesh Edirisooriya | Dec 8, 2012 | Stories
අද ගොඩක් එළිය දවසක්… මම ගෙදරින් අමාරුවෙන් එළියට ආවේ පරිසරයේ වෙනසත් නිදහසත් භුක්තිවිදින්න හිතන්. අව්ව තදින් පායලා… තණ කොළ පාගගෙන ටික දුරක් ගිය මම නැවතිලා බිම ඉදගත්තේ ගෙදරත් පාරත් එක වර පේන්න ලේසි වෙන්න.
මාව ඉපදිලා මාස තුනෙන් මේ ගෙදරට ගෙනත් තියෙන්නේ. ගෙදර මිනිස්සු ගැන කියන්න තරම් හොදක් නැති වුනත් මම එයාලට ආදරෙයි… මම මගේම දෙමාපියන්, සහෝදරයන්, ළමයි කියලා හිතාගෙනයි එයාලට සැලකුවේ. ඒත් එයාල මාව පිට කෙනෙක් විදියටම සලකන්න අමතක කරන් නැහැ. නිතරම බනිනවා. අතට අහුවෙන ඕනම දේකින් මට ගහන්න කාටවත් අමතකවෙන් නැහැ. ඒත් මට බොන්න වතුර ටිකක්වත් දෙන්නැ. මමම බිව්වොත් හරි එහා ගෙදරට ගිය වෙලාවකට තියන දෙයක් කාල වතුර ටිකක් බීලා එනවා. ගෙදර මිනිස්සුන්ගේ වෙනස්කම් විදින මට අවට මිනිස්සුන්ගේ කරදර එතරම් ලොකු දේවල් නෙමෙයි.
අනේ මගේ අම්ම හිටියා නම්… මාව ආදරෙන් බලා ගනී. මාව ආරක්‍ෂාකර ගනී. කාගෙන්වත් බැනුම් අහන්න ගුටි කන්න වෙන එකක් නැහැ. මම මගේ අම්ම දැකලා නැහැ. එයා ජීවතුන් අතරද නැද්ද කියලාවත් මම දන්නැහැ. එහා ගෙදර පවුලේ මිනිස්සු ආදරෙන් ඉන්න විදිය දැක්කාම මට හිතුනෙම ඇයි මම එහේ ඉපදුනේ නැත්තේ කියලයි.
අයියගේ යාලූවොත් එක්ක ගෙදර එනවා. සෙල්ලම් කරල එනවා. යමින් ගමන් මට අතේ තිබුන බැට් එකෙන් කකුලට ගහගෙන ගියා. ඒ එයාගේ ආදරේ පෙන්නන විදියද කොහේද. යමින් එමින් පයින් හරි ගහන්න එයා අමතක කරන්නැහැ. ඇග පුරාම මගේ තුවාල කැළැල් වලින් ඕනම කෙනෙක්ට පේනවා මම මේ ගෙදර කොයි තරම් නම් දුකක් විදිනවද කියලා. කාට තිබුනත් මට නම් ඔය බෙරිහන් දෙන මානව හිමිකම් නැහැ. සමහරවිට මම වෙනස් නිසා වෙන්න ඇති. කමක් නෑ, මට ඕන නෑ මිනිස්සුනගේ ඔය දේවල් හදාගෙන ඉන්නේ එයාලටම හොද නිසානේ.
මම ඕකව අද රැට ගෙනිහින් දාන්නම්… තාත්තා කෑ ගැහුවා. මට දැනුනේ ඒක මටම කියපු දෙයක් විදියටයි. රැ වුනා. හිතපු විදියටම මාව බෙල්ලෙන් අල්ලන් එළියට ගෙනාව මම හිතුවා හරි, මාව ගෙනියන්න තමයි මේ හදන්නේ. හොදටම ගහපු මට කරුවල පෙට්ටියකට දාලා වාහනේට දා ගන්නවා මට දැනුනා. ගොඩක් දුර ආවා. වාහනෙන්ම මාව එළියට විසි කරල වාහනේ වේගයෙන් ගියා.
අනේ මාව දාල යන්න එපා… මම කෑ ගහගෙන පස්සෙන් ගියා. දුවල දුවල හති වැටෙනකල් මම දිව්වා. ඒත් වාහනේ නතර කලේ නෑ. මට ඇස් දෙකට කදුලූ ආවා. කරුවලයි… මම බයයි කරුවලට. ඒත් එක කියන්නවත් අහන්නවත් කෙනෙක් නැහැ. ගොරවලා විදුලි කොටන්න ගත්තා.
හයියෙන් වහින්නයි හදන්නේ. වැස්සට තෙමුනත් මට බය අකුණු ගහනවටයි. ලොකු ගහක් තියනවා. මම යනවා එතනට. ඒක යට ඉන්න කොට තෙමෙන එකක් නැ. මගේ කකුල තාමත් පණ නැහැ. ගහපු පාරට හොදටම අමාරුයි. අමාරුවෙන් කොර ගගහ මම ගහ යටට ගියා.
වැඩක් නෑ. හොදටම තෙමෙනවා. කමක් නෑ. මට ආයිත් ගහන්න කෙනෙක් නැහැනේ… එතකොට දැන් මම නිදහස්ද? සතුටක් හිතට ආවා… ඒත් බඩගින්න ඉවසන්න බැහැ. ආයිත් මට කෑම කොහෙන්ද ලැබෙන්නේ…
එළිය වැටිලා… වැස්සට රැ පුරාම තෙමිල. හීතලයි ගොඩක්. අව්ව වැටුනාම අව්වට වෙලා ටිකක් ඉන්නවා. එතකොට හරි යයි. මිනිස්සු හැම තැනම ඒත් ගෙයක් නැහැනේ… කව්රුවත් මම දිහා බලන්නේවත් නැහැනේ…
අනේ මම තනි වුනා නේද? දැන් මට කාත්කවුරුවත් නැහැනේ… අනේ මම කොහේද යන්නේ? ඇස් වලට ආපු කදුලූ වලට මට පාර පේන්නේ නැතුව ගියා… මම නැවතුනා හිටපු තැනම… පිටි පස්සෙන් ආපු බයිසිකලේ මාව හප්පගෙන ගියේ ඒක හිටිය කෙනෙක් මට පයිනුත් ගහගෙනයි. මිනිස්සු මෙතරම් නපුරු ඇයි? ඊයේ රැ හිටිය ගහ ලගටම යනවා. දැන් ඉතිං මගේ ගෙදර එතන…
ඔයාලගේ දරුවෙක්ට මෙහෙම වෙනස්කම් කරල පාරට දැම්මාම ඒ දරුවත් හිතන්නේ මම වගේ. විදින්නේ මම විදින දුක් කරදරමයි. ඒත් මගේ වෙනස මම “බල්ලෙක්” වුන එකයි. කවුරුවත් මම ගැන හිතන් නෑ. හොයල බලන් නෑ. මටත් ගෙදරක්, අංගසම්පූර්ණ පවුලක් ඕන. ඒක හැමදාමත් හීනයක් වෙයි… මම වගේම තව ගොඩක් අය ඒ හීනය දකිනවා ඇති… ඔව් හැමෝම ආදරේ හොයනවා. ඒක නිසා නොලැබෙන දේ ගැන හිතමින් සිහින දකිනවා ඇති. මම වගේ…