by Danesh Edirisooriya | Mar 5, 2013 | Stories
“මගෙ පුතේ,වෙලාව හරි නේද රත්තරන්,දැන් නැගිටලා මූණ කට හෝදගත්තනම්”….උදේන්ම ඇහෙන අම්මගෙ ඒ වචන ටික මට හොඳටෝම හුරුයි.අම්මගෙ කටහඬින් ඇහෙන ඒ වචන ටික නැත්නම් කවදාවත්ම ඉර පායන්නෙ නැති වෙයි,ඒ වගේම මට උදේ පාන්දර නැගිටින්න බැරි වෙයි කියලා මට හිතුණු වාර අනන්තයි.ඒ තරමටම මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක්.ඔයාලට ඒ ගැන හිතාගන්න පුලුවන්නෙ.ඉතින් උදේ නැගිට්ට ගමන් අම්මගේ රත්තරන් මුහුණට පස්සෙ මගෙ හිතට එන්නෙ මම අම්මට පස්සෙ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන ඒ ලස්සන සුදුම සුදු මුහුණ.ඒ මුහුණට මං කොයිතරම් නම් ආදරෙයිද?ඒ ආදරණීය මුහුණ දවසකට කොයිතරම් වාර ගණනක් මතකයට එනවද කියල මටවත් ගණන් කරන්න බැරි තරම්.හැබැයි එහෙම මතකෙට එන හැම වාරයකම මට මාවත් අමතක වෙන එකනම් ඇත්ත…..
අදත් මම බස් එකෙන් බැහලා හති දාගෙන ගල් බැම්ම දිගේ දිව්වෙ හිනා වෙවි.දකින අයට නම් හිතෙනවා ඇති මම ඔලිම්පික් වලට දුවන්න පුරුදු වෙනවා කියලා.ඒත් මට වටේ පිටේ ඉන්න කිසිම කෙනෙක් ගැනවත්,වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැනවත් කිසිම ගාණක් නැහැ.මම එක පිම්මට දුවගෙන අවේ අපි දෙන්න වෙනදට මුණගැහිලා කථා කර කර ඉන්න ඒ සිමෙන්ති බංකුව ගාවට.ඔයා මාව දැකල බොරු තරහක් මූණට මවාගෙන අහක බලාගත්තා.මම ඇවිල්ලා සද්ද නැතුව ඔයා ගාවින් ඉදගත්තා.ඔයා බංකුවෙ ටිකක් එහාට ගියා.මම තව ටිකක් ඔයාට ළං වුණා.ඔයා තව ටිකක් එහාට ගියා.ආයෙත් මම ඔයාට ටිකක් ළං වුණා.ඔයා ආයෙත් තව ටිකක් එහාට ගියා.මට තනියම හිනා.එත් ඔයාගෙ මූණෙ අර මවා ගත්ත තරහා පාට තාමත් එහෙන්මමයි.අන්තිමට ඔයාට තව එහාට යන්න බැරි තරමටම ඔයා බංකුවෙ අයිනටම ගිහින් තිබ්බා.ඒක දැකපු මම තව ටිකක් ඔයාට ළං වුණා.තව එහාට යන්න බැරි නිසා ඔයා මට ඔරවලා බංකුවෙන් නැගිට්ටා.ඒත් එක්කම මම ඔයාගෙ අතින් ඇදලා මගේ ගාවින් ඉන්දගත්තා.බොරුවට මගෙන් මිදෙන්න වගේ ඔයා උත්සහ කළත් මම ඔයාව තදින් අල්ලගෙනම හිටියා.මගෙන් මිදෙන්න වගේ දැගලුවට ඔයාට මගෙන් මිදෙන්න කිසිම උවමනාවක් නැහැ කියලා මං දන්නවා.ඒකයි මම තවත් තද කරල ඔයාව මගේ පපුවට තුරුල් කරගත්තේ.ඒත් ඔයා අමනාපයෙන් වගේ අනිත් පැත්ත බලාගෙන හිටියා.මට තනියම හිනා.වරක් හැරිලා මගේ දිගා බලපුවහම මම හිනා වෙනවා දැකලා ඔය ආයෙත් අහක බලාගත්තා.ඔයාටත් ලාවට හිනාවක් යන හැටි මං දැක්කා.මම ඔයාගේ මූණ මගේ පැත්තට හරවගන්න උත්සහ කළත් ඔයා හරිම අකීකරුයි.අයෙත් අනිත් පැතතට හැරුණා.මම තද කරල බලෙන්ම ඔයාගේ මූණ මගේ පැත්තට හරවගත්ත ගමන්ම මගේ තොල් වලින් ඔයාගෙ තොල් දෙක ග්‍රහණය කරගත්තා.ඔය මගෙන් මිදෙන්න පුදුම උත්සහයක් ගත්තා.ඒත මම තවත් හයියෙන් ඔයාව මගේ ඇඟට තද කරගෙන මම කර කර හිටපු වැඩේ දිගටම කරගෙන ගියා.මුලින්ම ලොකු වෙලා හයියෙන් හයියෙන් ඇහිපිල්ලම් ගහපු ඒ දුඹුරු පාට ඇස් දෙක ටික ටික පුංචි වෙලා යාන්තමට පියවෙනවා මං දැක්කා.ඒත් එක්කම මගේ ඇස් දෙකත් යාන්තමට පිය වුණා.දෙන්නා ඒ විදිහට කොච්චර වෙලාවක් හිටියද කියලා අපි දෙන්නටම හිතා ගන්න බැරි වුණා.එහෙම වෙච්ච පළවෙනි වතාව ඒක නෙමේ වුණත්,ඒ වගේ මොහොතවල් හුඟක් අපේ ජීවිත වල තිබ්බත් ඒ හැමවතාවක් වගේම මේ මොහොතෙත් මට හිතුණෙ ඒ අපි හමුවෙච්ච පළවෙනි වතාව කියලා.ඒ තරම්ම ඒ මොහොත සුන්දරයි.
එක පාරටම මොකක්දෝ මතක් වෙලා වගේ මගෙන් මූණ ඉවතට ගත්ත ඔයා”මම තරහයිනෙ ඔයත් එක්ක.ඉතින් තරහා අයට මම මේවා දෙන්න නැහැ” කියලා ආයෙත් අහක බලාගත්තා.මම හෙමින් නැගිටලා ඇවිත් බංකුව ගාව දණ නමාගෙන ඔයාගෙ අතින් අල්ලගෙන ඔයාගෙ මූණ දිහා බලල අහිංසක විදිහට හිනා වුණා.”ඔය කපටි හිනාවට මං අද අහුවෙන්නෙ නැහැ”.නෝක්කාඩු ස්වරයෙන් ඔයා එහෙම කිව්වට ඔයා එහෙම කියපු පළවෙනි වතාව ඒක නෙමේ කියල ඔයත් දන්නවා.මාත් දන්නවා.ඒත් එක්කම මේ කපටි අහිංසක හිනාවට ඔයාගෙ හිත හැමදාම මෙල්ල වෙනවා කියලත් ඔයා හොඳටම දන්නවා.ඒත් රත්තරන්…මගෙ හිනාව අහිංසක වුණාට කපටි නම් නැහැ.එහෙම කපටියි කියල හිතෙනවනම් ඒ කපටි හිනාව දාන්නෙත් ඔයාව යාළු කරගන්න විතරයි.”ඔයා හැමදාම මෙහෙමයි.වෙලාවට වැඩක් කරන්නෙම නැහැ.මුණගැහිච්ච පළවෙනි දවසෙ ඉදලම එහෙමයි.ඔයා නම් හදන්න පුළුවන් කොල්ලෙක් නෙමේ.දගකම නම් තියෙනවා ඉහටත් උඩින්.වයසටත් වැඩියෙන්.හැබැයි වෙලාවට වැඩක් නම් කරන්නෙ නැහැ”ඔයා ගිරවියක් වගේ එක හුස්මට එහෙම කියාගෙන කියාගෙන යද්දි මම ආසාවෙන් ඔයාගෙ මූණ දිහා බලාගෙන ඔයා කියන විදිහටම ඇද කර කර ඔයා කියන එකම කියෙව්වා.හැමදාම ඔය බැණුම මම අහනවනෙ.ඉතින් ඒ කියන වචන ටික මට වතුර වගේ කට පාඩම්.ඔයා ආයෙත් තරහා මූණක් මවාගෙන මගෙ ඔලුවට යාන්තමට ටොක්කකුත් ඇනලා,මගේ කම්මුල් දෙක තදින් මිරිකන ගමන් හිනාවෙවී “මේ මෝඩ කොල්ලට මම මොකට කැමති වුණාද මංදා,මේ නැහැදිච්ච කොල්ලට මම මොකට මෙච්චර මැරෙනවද මට තෙරෙන්නෙ නෑ”කියද්දි සත්තයි,මට ඔයා ගැන දැනෙන ආදරේ කියාගන්න බැරි තරම්.”මං වගේ කොල්ලෙක් ඉතින් ඔයාට ලෝකෙ පීරුවත් හොයාගන්න බැහැ.ඔයා දන්නවද ඔෆිස් එකේ කෙල්ලො මට කොයිතරම් ට්‍රයිද කියලා.ඔයාට ලැබිලා තියෙන්නෙ දියමන්තියක් වගේ කොල්ලෙක් හරිද නංගී.ඒ හින්ද ඒ දියමන්තිය පරිස්සම් කරගන්න.නැත්නම් වෙන කෙල්ලෙක් හොරෙන් ඇවිත් එ දියමන්තිය හොරෙන්ම අරගෙන යයි”.එහෙම කියලා මම හිනා වෙනකොට ඔයාටත් හිනාව නවත්තගන්න බැරි වුණා.හිනාවෙන ගමන්ම “අප්පෝ.වැඩේමයි.ඉතින් ඔච්චර ඔය මැරෙන්න හදන ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තිබ්බනේ.ඇයි මට කැමති වුණේ”නෝක්කාඩු ස්වරයෙන් ඔයා එහෙම ඇහුවා.එහෙම ඇහුවට ඔයා මාව කාටවත් දෙන්න කැමති නැහැ කියල මං දන්නවා.”මොනා කරන්නද?මගේ අභාගෙ තමයි ඉතින්”කියල මම හිනා වෙද්දි,”ආ ඇත්තද,එහෙනම් ගිහින් වාසනාවන්ත චූඩාමානික්ය්‍යක් හොයාගන්න එකනෙ ඇත්තෙ.මට මොකෝ”කියල කියද්දි මට ඔයාව තව පොඩ්ඩක් තරහා ගස්සන්න හිතුණා.ඈත්තමයි.ඔයා මාත් එක්ක රණ්ඩු කරනකොට පුංචි බබෙක් වගේ.”මොනා කරන්නද ඉතින්,චූඩාමානික්ය්‍යක් ලැබෙන්න ඉස්සෙල්ලා උරචක්කරමාලාවක් බෙල්ලට වැටුණනේ”කියලා මං හිනා වෙවී ඔයා දිහා බැලුවා.ඒ සුදු මූණ රතු වෙලා,ඇස් දෙකේ ලොකු කඳුළු බින්දු දෙකක් බොඳවෙලා තිබුණා.මට දුක හිතුණා.කරපු විහිළුව ඔයාට තදින්ම දැනිලා කියලා එතකොටයි තේරුණේ.”අනේ සොරි පැටියෝ.මං විහිළුවක්නෙ කළේ.ඔයා ඇරෙන්න බෝනික්කෙක් වගේ ලස්සනම ලස්සන,හොඳම හොඳ කෙළි පැටික්කියෙක් මට කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි.මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලා මම.ඒ ඔයා වගේ කෙල්ලෙක් මට ඉන්න නිසා”.මං එහෙම කියද්දි ආයෙත් අර රතු වෙච්ච මූණට හඳ පෑයුවා වගේ එළිය වුණා.අනේ…ඔයාගෙ මූණ වගේම ඔය හිතත් කොයි තරම්නම් අහිංසකද….
ආයෙත් මොකක්දෝ හදිස්සියෙන් මතක වෙලා වගේ ඔයා ඔයාගෙ හෑන්ඩ් බෑගයට අතදාලා මොනාද හොයන ගමන්”මේ නෝටි කොල්ලගෙ නෝටි වැඩ හින්දා මට ඒකත් අමතක වුණා”කිව්වා.ඒත් එක්කම හෑන්ඩ් බෑග් එකෙන් එළියට ගත්තු නිල් පාට ලස්සන කොළයකින් ඔතලා නිල් පාට රිබන් එකකින් ගැටගහලා තිබ්බ පොඩි පෙට්ටියක් මගේ අත උඩින් තිබ්බා.මම මේ මොකක්ද කියලා අහන්න වගේ බැල්මකින් ඔයා දිහා බලද්දි “ඕපන් කරල බලන්න” කියලා ඔයා කිව්වා.මම ලස්සනට ඔතලා තිබ්බ ඒ පෙට්ටිය හෙමින් හෙමින් ඕපන් කළා.ඒ පෙට්ටිය ඇතුළෙ තිබ්බේ ලස්සනම ලස්සන රිදී පාට අත් ඔරලෝසුවක්.මට එක පාරටම ඔයා දිහා බැලුණා.”ඇයි මට මෙච්චර වටින දෙයක් ගත්තේ” එහෙම අහනවත් එක්කම මගෙ ඇස් දෙක බොඳ වුණා.”ඔයාට ගන්නෙ නැතුව මම වෙන කාට ගන්නද හිරූ.මට ඉන්නෙ ඔයා විතරෙනෙ.මං ඉන්න කාලෙ…නෑ..මේ..මේ.. මං කිව්වෙ…ඔයාව මම පුළුවන් තරම් සතුටින් තියනවා කියලා..ඔයා තමයි මට හැම දෙයක්ම.ඒක නිසා ඔයාගෙ සතුට මට හුඟක් වැදගත්.ඒ නිස මගෙ පුංචි පණ්ඩිතයන් වහන්සේ,තව කියවන්නෙ නැතුව මේක භාරගන්න.හරිද? “ඔයා එහෙම කියද්දි ඔයාගෙ ඇස් දෙකේ පිරිලා තිබ්බ ආදරේ දැකලා මට හිතුණා මං කොයිතරම් නම් පිං කරල තියෙනවද කියලා.”මගේ සතුට තියෙන්නෙ මේ තෑගි වල නෙමේ පැටියො.ඔයා ගාව තම්යි මගේ සතුට තියෙන්නෙ”.මම එහෙම කිව්ව නෙමේ.මට කියවුණා.”ඒක මං දන්නවා බබෝ.ඒත් මේ මං සතුටින් දේවල්නෙ”.මම එතනින් එහාට මුකුත් කියන්න ගියේ නැහැ.දුප්පත් කොල්ලෙක් වුණත් ඔයාගෙ ආදරේ නිසා මං කොච්චර පෝසත්ද කියලා මට හිතුණා.ඔයා මට දීලා තියෙන වටිනා තෑගි වලට හරියන්න මට දෙන්න පුළුවන් වුණේ පුංචිම පුංචි,ඒ තරම් වටින්නෙ නැති දේවල්.මම ගන්න පඩියෙන් ගෙදරට වියදම් සල්ලි දීලා,අපි දෙන්න වෙනුවෙන් ගත්ත ඉඩමෙ ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවලා,ගමන් වියදම් වලට ගියාම මගේ අතේ ලොකු මුදලක් ඉතුරු වෙන්නෙ නැහැ.ආසාව තිබ්බත් වටිනා ලොකු දෙයක් දෙන්න තරම් ඔයාගෙ මේ දුප්පත් හිරූට තාම හැකියාවක් නැහැ.මං දෙන තෑගි වටිනාකින් අඩු වුණත් ඔයාට ඒවා හුඟක් වටිනවා කියලා මං දන්නව.මම කවදහරි ජීවිතේ ඉහළ තැනකට එනවමයි.එහෙම ඉන්න කාලෙකට මම ඔයාගෙ කාමරේ තෑගි වලින් පුරවනවා.ඔයාට කිසිම අඩු පාඩුවක් නොකර,දුකක් නොදී ආදරයෙන් බලාගන්නවා.මම හැමතිස්සෙම හිතෙන් එහෙම හිතනවා.මගේ ප්‍රාර්ථනාව කවදහරි ඉටුවෙන බව මං දන්නවා.මම හිතින් එහෙම හිතද්දි ඔයා පෙට්ටියෙන් ඔරලෝසුව ඉවතට අරන් මගේ අතේ බඳින ගමන් “බලමු මීට පස්සෙවත් වෙලාවට එයිද කියලා මාව හම්බුවෙන්න”. කියලා ලස්සනට හිනා වුණා.ඔහොම හෝරා කීපයක්ම රසබරව ගෙවුණා.දැනුනෙවත් නෑ.ඔයාගෙන් සමුගනිද්දී “හෙට නම් පරක්කු වෙන්න බැහැ ඔන්න.හරියටම 5.30 වෙනකොට ඇවිත් ඉන්න ඔනේ.හරිද?”කියලා ඔයා කිව්වෙ ඇඟිල්ලක් දිගු කරගෙන පොඩි ළමයෙකුට තරවටු කරන ස්වරූපයෙන්.මම හා කියන්න වගේ ඔලුව වැණුවා.ඔයා හිනාවෙලා මට පිටුපාලා ඈතට ඇවිදන් ගිහින් තිතක් වෙලා නොපෙනී යනකන්ම ඔයා දිහා මම බලාගෙන හිටියෙ දුකෙන්,ඒ වගේම හුඟක් ආදරෙන්.හෙට ආයෙත් හම්බුවෙනවා කියල දන්නවා වුණත් ඒ තාවකාලික වෙන්වීමත් මට දුකක්.ඔයාටත් එහෙමයි කියලා මං දන්නවා.හෙට අලුත් දවසක ඔයගෙ ලස්සනම ලස්සන සුදු මූණ ආයෙත් දකින බලපොරොත්තුවෙන් මම අද දවසට සමුදුන්නා.
ඊලඟ දවසෙ මම ඔයාව හම්බුවෙන්න ආවා.අයියෝ…හැමදාමත් වගේම මම අදත් විනාඩි පහක් පරක්කුයි.අද නම මම ඉවරයි.එහෙම හිතාගෙන අපි දෙන්නා මුණගැහෙන සුපුරුදු බංකුව ගාවට එනකොට ඔයා එතන හිටියෙ නෑ.පුදුමයි.හැමදාම මට ඉස්සෙල්ල ඇවිල්ලා ඉන්න එක්කෙනා අද තාම නෑ.අද මගේ දවස.අල්ලගන්න ඕනෙ ආපුවහම.ටිකක් අවුස්සන්න පුළුවන් අද.හිනාවෙවී එහෙම හිතන ගමන් මං බංකුවෙන් ඉදගත්තා.මිහිරි සිතුවිලි අතරෙ මං ටිකක් තනිවෙලා හිටියා.ඇත්තටම ආදරේ කොයිතරම් සුන්දරද?
එක පාරටම කල්පනා ලෝකෙන් මිදිලා මම මගේ අත් ඔරලෝසුව දිහා බැලුවා.වෙලාව 6.05.ඒත් ඔයා තාම නැහැ.මම වටපිට බැලුවා ඔයා එනවද කියලා බලන්න.ඒත් පේනතෙක් මානයක ඔයා නැහැ.මට කියල මොබයිල් එකක්වත් නැති එකේ පාඩුව දැනෙන්නෙ මේ වෙලාවට තමයි.මට එහෙම හිතුණා.ඇයි ඔයා පරක්කු?මගේ ඔලුවට එක එක දෙවල් එනවා.ඒත් එක්කම මධු හදිස්සියකදි කෝල් කරන්න කියලා දීලා තිබ්බ දුරකථන අංකය ගැන මට එක පාරටම මතකෙට ආවා.ඒ මධූගෙ ගෙදර දුරකථන අංකය.එකම එක පාරක් විතරක් ඇමතුමක් දීල තිබ්බ ඒ අංකයට කෝල් එකක් දෙනවද නැද්ද කියලා කල්පනා කළේ මධූගෙ ගෙදර සේවකයා සෙල්වම් ඇරෙන්න අපේ සම්බන්ධය ගැන දන්නෙ නැති මධූගේ පවුලේ අයට මම කවුද කියන එක ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණ නිසා.ජීවිතේ යම් තත්වයකට ඇවිත් කෙළින්ම මධුගේ ගෙදරට ගිහින් මේ සම්බන්ධය ගැන කථා කරන්නයි මට ඕන කම තිබ්බෙ.මධූත් ඒකට කැමත්තෙන් හිටියෙ.මම අයෙමත් වෙලාව බැලුවා.6.30ත් වෙලා.මම පාරෙන් අනිත් පැත්තෙ තියෙන කොමිනිකේෂන් එකට ගියේ කමක් නැහැ,ඕන මගුලක් වෙච්චදෙන් කියලා කෝල් එකක් දීලා බලනවා කියලා හිතාගෙන.අංකය ඩයල් කරද්දි හිතේ දෙගඩියාවක් තිබ්බෙ කවුරු කෝල් එක ආන්සර් කරයිද කියලා හිතුණු නිසා.හුඟක් වෙලා රින් වුණත් කවුරුත් ආන්සර් කළේ නැහැ.මම ආයෙත් ඩයල් කළා.ඒත් නැහැ.ආයෙමත් සැරයක් ට්‍රයි කළා.ඒත් එහෙන්මමයි.රිසීවර් එක තියන්න කියලා හදනකොටම එහා පැත්තෙන් කටහඬක් ඇහුණා.ඒ සෙල්වම්ගේ කියලා හඳුනගන්න මට වැඩි වෙලා ගියේ නැහැ.සිතට පොඩි සතුටක් ආවා.”සෙල්වම්.මම හිරුදික.සුදු බේබි ගෙදර ඉන්නවද?ඉන්නවනම් එයාට පොඩ්ඩක් කථා කරනවද?මම එයා එනකන් මඟට වෙලා බලාගෙන ඉන්නවා.එයා තාම නැහනෙ”.මම එක දිගටම කියාගෙන ගියා.සෙල්වම්ගෙන් කිසිම පිළිතුරක් නැහැ.”සෙල්වම්,මට සුදු බේබිට පොඩ්ඩක් කථා කරන්න ඕනෙ.මම සුදු බේබි එනකන් දැන් හුඟක් වෙලා ඉඳලා බලාගෙන ඉන්නෙ මඟට වෙලා”.මෙතෙක් වෙලා සද්දයක් නැතුව හිටිය සෙල්වම්ගෙ ඉකිගසන හඬත් එක්ක “සුදු බේබිට ආයෙත් හිරූ මාත්තියව හම්බුවෙන්න එන්න වෙන එකක් නැහැ හිරූ මාත්තියා”කියන වචන ටික ඇහුණම මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා.”ඒ..ඒ මොකද සෙල්වම්.සුදු බේබිට ගෙදරින් ප්‍රශ්නයක්ද?”මම කලබලයෙන් වගේ ඇහුවා.සෙල්වම්ගේ ඉකිබිඳිම තදින්ම ඇහෙන්න ගත්තා.මට ආවේ පුදුම කේන්තියක්.”කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවකො මනුස්සයො.බහුබූත කියවන්නෙ නැතුව”.මගෙ හඬේ තිබ්බ සැරත් එක්කම සෙල්වම්ගේ ඉකිය තවත් වැඩි වුණා.ඒත් එක්කම සෙල්වම් පැකිළි පැකිළි කථා කරන්න ගත්තා.”හිරූ මාත්තිය…සුදු බේබි…සුදු බේබි…ඊයෙ…ඊයෙ…ඊයෙ රෑ…හොෂ්පිටල් එකේදි….අනේ ශාමි ඇයි අප්පා මෙහෙම වුනේ ශාමි”සෙල්වම්ගේ ඉකිබිඳීම විලාපයකට හැරුණා.මගේ හිතේ කලබලය,බියත් එක්ක මුසුවෙච්ච කේන්තිය මම පුලුවන් තරම් හයියෙන් කෑගහලා වචන වලට පෙරළුවා.”කියපන් මිනිහෝ සුදු බේබිට මොකද…සුදු බේබිට අසනීපක්වත්ද…කියපන්…කියපන්.ඇයි උඹ කථා කරන්නෙ නැත්තෙ…සුදු බේබි හොඳින් නේද.මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියපන් මිනිහෝ.සුදු බේබිට මොකද?”සෙල්වම්ගේ ඉකිය විලාපයකට හැරෙන්නට වැඩි වෙලා ගියේ නැහැ.”සුදු බේබි හිරූ මාත්තියව දාල ආයෙත් එන්නෙ නැති දුර ගමනක් ගියා හිරූ මාත්තියා.”සෙල්වම්ට කියන්නට හැකි වුණේ එපමණයි.”කොහෙද මිනිහො සුදු බේබි මාව දාලා ගියේ…සුදු බේබිට මං නැතුව ඉන්න බැහැ…සුදු බේබිට එක දවසක්වත් මාව දකින්නෙ නැතුව ඉන්න බැහැ…ඉතින් කොහොමද සුදු බේබි මටත් නොකියා දුර ගමනක් යන්නෙ…කියපන් මට…සුදු බේබි කොහෙද ගියේ..”මගේ ඔලුව ගිනියම් වෙලා වගේ මට දැනුණෙ.ඒත් එක්කම එහා පැත්තෙන් නුපුරුදු කටහඬක් ඇහුණා.”හිරුදික පුතේ.මං මධූගෙ අප්පච්චි”.ඒ කටහඬ ශාන්ත විදිහට කිව්වා.”ඔව්..ඔව්..අප්පච්චි..ම්.මං හිරුදික.මං..මං..මං ගැන මධූ අප්පච්චිට කියලා නැතුව ඇති.මං…මං මධූට ආ..ආදරේ කරනවා අප්පච්චි”.මම පැටළි පැටළි එහෙම කිව්වා.ඒ වෙලාවෙ වචන ගළපගන්න තරම් හොඳ මානසිකත්වයක් මට තිබ්බෙ නැහැ.”මට මධු ඊයෙ සේරම කිව්වා පුතේ”මධූගෙ අප්පච්චි එහෙම කියද්දි මගෙ හිතට පොඩි අස්වැසිල්ලක් ආවා.”අප්පච්චි…ම..මධූ හොඳින් නේද…අප්පච්චි?”මම එහෙම ඇහුවා.”පුතේ.මම මේ කියන්න යන දේ අහන්න පුතාගේ හිත ශක්තිමත් කරගන්න”.මොන ගිනි ගෙඩියක් පාත් වෙන්නද යන්නෙ කියලා මට හිතාගන්න බැරි වුණා.අප්පච්චි මේ සම්බන්ධෙට කැමති නැහැ කියන්නවත්ද හදන්නෙ.මම ඊට ඉස්සර වුණා “අප්පච්චි,මං දන්නවා මං දුප්පත් කියලා.ඒත් මං දැන් හොඳ ජොබ් එකක් කරනවා.මට ප්‍රොමෝශන් එකකුත් ලැබුණා.මගෙ පඩියත් වැඩි වුණා.මම සල්ලි එකතු කරලා අපි දෙන්නගෙම කියලා ගෙයක් හදාගන්න ඉඩමකුත් ගත්තා.තව ටික කාලෙකින් සල්ලි එකතු කරලා පොඩි වාහනයකුත් ගන්නවා.මම මගේ දෙපයින් හිට ගත්ත දවසට මධූව කසාද බඳිනවා.එතකන් මට කල් දෙන්න අප්පච්චි.මම පොරොන්දු වෙනවා.මම මධූට කවදාවත් දුකක් දෙන්නෙ නැතුව ආදරෙන් බලාගන්නවා කියලා අප්පච්චි…ඇත්තමයි..මම පොරොන්දු වෙනවා”.මම එක හුස්මට එහෙම කියාගෙන ගියා.මං දන්නවා පුතේ…මං දන්නවා..ඒත්..” එහා පැත්තෙන් හීන් කෙඳිරිලි හඬක් ඇහුණා.”ඇයි ඒත් කියන්නෙ අප්පච්චි.අප්පච්චිට මාව විශ්වාස නැත්ද?”මම එහෙම ඇහුවා නෙමෙයි,මට ආයචනාත්මක හඬින් එහෙම ඇහුණා.”නෑ පුතේ.මට පුතාව විශ්වාස නැතුව නෙමේ.ඒත් …ඒත් අපි දැන් ඒකට හුඟක් පරක්කුයි පුතේ.මධූ…මධූ…මගෙ සුදු දුව..මගෙ පුංචි කෙල්ල…කාටත් වරදක් නැති මගෙ අහිංසකී….එයෙ රෑ…අපි හැමෝමව දාලා ගියා පුතේ.මට මගෙ බෝනික්කි නැති වුණා පුතේ”.මට මතක ඒ වචන ටික විතරයි.හාත්පසම කළුවර වෙනවා වගෙ දැනෙනවත් එක්කම මගේ හිසට යකඩ පොල්ලකින් ගැහුවා වගේ හැඟීමක් විතරයි මට අන්තිමට දනුනෙ…..
(මධූගෙ මරණයෙන් දින කීපයකට පසු )
මම සිහිය එනකොට මගේ ලෝකෙ උඩු යටිකුරු වෙලා තිබ්බා.සතුටින් පිරිලා තිබ්බ මගේ ලෝකෙට කාගෙහරි ඇස්වහ වැදිලා වගේ හැමදේම විනාශ වෙලා තිබ්බා.මගෙ සුදු බෝනික්කිව කවුදෝ හොරෙන් අරන් ගිහින් කියලයි මට හිතුණෙ…..
ඔයා මැරුණෙ මොළයේ තිබිච්ච ඉදිමුමක් නැත්නම් බ්‍රේන් ටියුමර් කියන තත්වයක් නිසාලු.මේ අසාධය්‍ය අසනීපය හින්දා ඔයා කොයිතරම් නම් දුකක්,වේදනාවක් විඳින්න ඇත්ද?ඔයාට නිතර නිතර හැදුණ ඔලුවෙ කැක්කුම සාමානය්‍ය ඔලුවෙ කැකුමක් නෙමේ,ඔය කියන අසනීපයෙ අතුරු ප්‍රථිපලයක් හින්දා ඇති වුණු දෙයක් කියලා නිකමට හරි මට හිතුණනම්,එදා මට ඔරලෝසුව තෑගි කරන වෙලාවෙ “මං ඉන්න කාලෙ…නෑ..මේ…මේ…මං කිව්වෙ ඔයාව මම පුළුවන් තරම් සතුටින් තියනවා කියලා”වැරදිලා කියවෙච්ච කථාවෙ තේරුම මට බින්දක් හරි මට දැණුනනම්,සත්තයි…මම ඔයාට කවදාවත් මැරෙන්න දෙන්නෙ නෑ.ලොකේ කොහේ ඇවිදලා හරි,කා ළඟ දණින් වැටිලා හරි,මේ ලෝකෙ ඔයාව සනීප කරන්න පුළුවන් දොස්තර කෙනෙක් ගාව වැඳවැටිලා හරි මම ඔයාව බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.මගේ ජීවිතේ නැති කරගෙන හරි මම ඔයගෙ ජීවිතේ රකිනවා.සත්තයි.ඒ තරමටම මට ඔයාව වටිනවා මධූ……
(මධූගෙ මරණයෙන් වසර කීපයකට පසු )
මම දැන් හුඟක් වෙනස් වෙලා මධූ.ඉස්සර වගේ මම දැන් දඟ නැහැ.මගේ ඒ දඟකාරකම ඔයත් එක්කම නැති වෙලා ගිහින්.ඔයා හැමදාම ආදරේ කරපු ඒ අහිංසක,කපටි හිනාවත් දැන් මගේ ළඟ නැහැ.ඒකත් ඔයත් එක්කම හොරු අරන් ගිහින්.වෙලාවට වැඩ කරන්නෙ නැති පුරුද්දනම් තාමත් එහෙන්මමයි..ඔයා හිටියනම් මගෙ කනෙන් මිරිකලා,හෙමින් ටොක්කක් ඇනලා”මේ කොල්ල නම් කවදාවත් හදන්න පුළුවන් කොල්ලෙක් නම් නෙමේ” කියලා කියයි හිනා වෙවී.මොනා නැතත් එක දෙයක් නම් මම වෙලාවට කරනවා.වරද්දන්නෙ නැතුව.හැමදාම හැන්දෑවෙ 5.30 වෙනකොට මම අර සුපුරුදු බංකුවට වෙලා තාමත් ඔයා එනකන් මඟ බලාගෙන ඉන්නවා.හරියටම 5.30 වෙනකොට.තත්පරයක්වත් පරක්කු වෙන්නෙ නැතුව මම එතනට එනවා පුරුද්දක් විදිහට.කොහේ හරි ඉඳලා ඔයා මාව බලන්න මෙතනට එයි කියන විශ්වාසයෙන් මම තාමත් මෙතනට වෙලා ඉන්නවා.ඔයාගේ මතකෙයි.ඔයා දුන්න ඔරලෝසුවයි විතරයි දැන් මගෙ තනියට මං ළඟ ඉන්නෙ…කොහේ හරි ඉඳලා මගෙ ළඟට දුවගෙන ඇවිල්ලා “මගෙ හිරූ” කියලා අනේ..ඔයා මට තුරුළු වෙනවනම්…ඔයා නැතුව මේ හිරුදිකට හුඟක් පාළුයි රත්තරන්.
–රනිල් ජීවන්ත–
by Danesh Edirisooriya | Mar 2, 2013 | Stories
එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්… ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා.
“ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන”
දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.
“ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”
මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.
“හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න”
Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.
පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය දිනුක අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල දිනුකට කතා කළා.
“දිනුක, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”
ළමයි හිනා වුනා.
දිනුක තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.
“පුතේ උත්තරයක් දෙන්න… කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා”
ගුරුතුමියගේ හඬ දිනුකට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු දිනුක ”ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමති” කියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ දිනුක අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට දිනුක මේ කිවුවේ ඇත්තක් නොවන බව කෂණිකව වැටහුණා.
ර්
“බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ දිනුකගෙ කැමැත්ත”
පාසල ඇරුණා… ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.
”දිනුක පොඩ්ඩක් ඉන්න පුතේ”
ගුරුතුමිය දිනුකව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය දිනුකගෙන් මෙහෙම ඇහුවා.
”පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ… ”
දිනුක ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.
“ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ… කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා… මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා… රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්…”
by Danesh Edirisooriya | Feb 26, 2013 | Stories
ඒ රාත්‍රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවෙද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතූ ආරාධනයෙන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුගේ ඒ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙළවරේ වූ coffee shop 1ක් වෙත පිය නැඟූ දෙපල ඔවුනටම වෙන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඔහු ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය දෙස ඍජුව බැලීමට තරම් සිත දැඩි අයෙකු වූයේ නෑ. ඔහුගේ සිත වේගයෙන් ගැසෙන්නට වෙද්දී ඇය තමාට යා යුතු බව පැවසූවේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වූ නිසයි. එවිටම ඒ අසලින් ගිය වේටර් වරයෙකුට ඔහු මෙසේ පැවසූවා.
”කරුණාකර මට ලුණු ටිකක් දෙනවද මේ කෝපි කෝප්පයට දාගන්න?”
අවට සිටි සියල්ලෝම එක්වරම ඔහු වෙත තම නෙත් යොමු කරද්දී ඔහු වේටර් ගෙන ආ ලුණු තම කෝපි කෝප්පයට මුසු කර බොන්නට වුනා. ඔහුගේ මේ ක්‍රියාවෙන් පුදුමයට පත්ව සිටි ඇය සෙමින් ඔහුගෙන් මෙසේ විමසුවා.
”ඇයි ඔයා ඔයාගේ කෝපි කෝප්පෙට ලුණු එකතු කරලා බොන්නේ, මම මගේ ජීවිතේටම එවන් පුරුද්දක් ඇති අයෙකු දුටු පලමු අවස්ථාව තමයි මේ.”
ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නා.
”මගේ පුංචි කාලේ ගෙවුනේ මුහුද ලඟ තිබුණු අපේ සීයාගේ නිවසේ. මම මුහුදට පුදුම තරම් ආදරේ කරා. ඒ ආශාව අදටත් ඒ වගේමයි. මට මගේ කෝපි කෝප්පයේ ලුණු රස දැනෙද්දී, මම තවමත් ඒ මුහුද ලඟ ජීවත් වෙනවා වගේ දැනෙනවා. මම මගේ පුංචි කාලේ ගැන ඒ වෙලාවට මතක් කරනවා, මගේ පියා නැති වුනේ මට අවුරුදු 2දී. එදා ඉඳන් මගේ අම්මා, ආච්චියි සීයයි එක්ක මාව බලා ගත්තු විධිය, ඒ 3න් දෙනාගේ ආදරේ, මට ආයෙත් මතක් කරල දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පයම තමයි.”
එසේ පවසද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑසින් කඳුලු කැට කිහිපයක් වැගිරෙනු ඇය දුටුවා. තම ගෙදර අය ගැන මෙසේ තම අවංක හැඟීම් පලකරන ඔහු ගැන ඇයට ඇතිවුනේ පුදුම තරම් වූ පැහැදීමක්. ඉන්පසු ඇයත් තම ළමා කාලයේ සිට මේ වනතුරු ඇය ගෙවන ජීවිතයේ වත ගොත ඔහු හා බෙදා ගත්තා. ඔවුන් මෙසේ ඇරඹී කතාබහ ඔවුනට නැවත නැවත මුණ ගැසීමට සුන්ඳර ඇරඹුමක් වුනා. ඔහු එදා ඔහුගේ කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඇයට එම සුන්ඳර මිනිසා අතහැරීමට ගිය අයුරු ඇය දිනපතා සිතන්නට වුනා. මෙසේ කාලය ගතවෙද්දී සෑම සුන්ඳර ආදර කතාවක වගේම මේ කුමාරය සහ කුමාරිය ආදරෙන් බැඳී විවාහය දක්වා තම බැඳීම අලුත් කර ගත්තා.
ඇත්තටම ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන්ම මැවුණු යුවලක් සේ සතුටින් ජීවිතය ගෙනගියා. සෑම දිනකම ඇය ඔහු වෙනුවෙන් සාදන කෝපි කෝප්පයට ලුණු එකතු කරන්නත් අමතක කරේ නෑ. මෙසේ වසර 40ක් ගෙවී ගිය තැන ඔහු මිය ගියා. ඒත් ඔහු ඇය වෙත මෙම ලිපිය ඉතිරි කර ගිහින් තිබුණා.
”දයාබර සැසී,
මට සමාවෙන්න. මගේ ජීවිතයේම මම ඔයාට කළේ ලොකු බොරුවක්. වංචාවක්. මම ඔයාට කරපු එකම බොරුව එය පමණයි, ඒ තමයි අපි මුණගැසුනු පලමු දවසේ මම බිව් ලුණු එකතු කරපු කෝපි කෝප්පය. එදා මට ඔයා එක්ක කතා කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව බොහොම චකිතයෙන් සිටි මොහොතකයි වේටර් එතැනින් ගමන් කරේ. ඇත්තටම මට ඕන වුනේ සීනි, ඒත් මා හට කියැවුනේ ලුණු අවශ්‍ය බවයි. ඒ වෙලාවේ මට ඒ කියැවුනු දේ වෙනස් කරන්නවත් සිතක් තිබුණේ නෑ. මම මොහොතකට වත් හිතුවේ නෑ අපේ කතාබහ පටන් ගැන්මෙදිම ඔයාට බොරුවක් කියන්න වේවි කියලා. මට ඔයාට මේ දේ කියන්න ජීවිතේ පුරාවටම ඕන වුනත් ඒ හැම මොහොතෙදිම මට ඔයාට ඒ දේ කියන්න හිතට ශක්තියක් තිබුණේ නෑ. ඒත් දැන් මම මැරෙන්න ලංවෙලා නිසා මට ඔයාට මේ දේ කියන්න පුළුවන්. මම කවදාවත් ලුණු දැමූ කෝපි වලට ආස කරේ නෑ සැසී. ඒ තිත්ත රස කොච්චර නම් බීමට අමාරුද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. ඒත් මම ඔයා එක්ක ගෙවපු ජීවිතය පුරාවටම ඒ තිත්ත රස ආදරයෙන් රසවින්ඳා. ඔයා මගේ ජීවිතේ ඉන්න නිසා මට ඒ දේ දරාගන්න එක අමාරු දෙයක් වුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආපු එක තරම් සතුටක් මට වෙනත් නෑ සැසී. මට තව වතාවක් ජීවත් වෙන්න ලැබුනොත් ඒ ජීවිතේ පුරාවටමත් මට ඔයාව ඕන, ලුණු දාපු කෝපි කෝප්ප තව ආත්ම ගණනක් බොන්න වුනත් පුළුවන් මට ඔයාව ලැබෙනවා නම්.”
ඇයගේ දෑසින් කඳුලු කැට වැගිරෙන්නට වුනා. දිනක් ඇයගෙන් කෙනෙකු ලුණු දැමූ කෝපි මොන රසදැයි විමසූ විට ඇය සිනාසී මෙසේ පැවසූවා.
”ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ”
“Love is not to forget but to forgive, not to see but understand, not to hear but to listen, not to let go but HOLD ON.”
මොනව හරි හේතුවක් නිසා ඔයා ආදරය කරන කෙනෙක්, ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා අමතක කරලා දාලා ඉන්නවනම් දැන්ම කතා කරන්න.
වැරැුද්දක් වුනානම් සමාව ගන්න. සමාව ගත්තා කියලා තත්වෙට අඩුවක් වෙන්නෙ නෑ.ආදරේ කරන්න, අහස තරම්…
by Danesh Edirisooriya | Feb 24, 2013 | Stories
මේ කියන්න යන්නේ ලෝකේ ඉන්න හොඳම යාළුවා ගැන..
එයා ලැබුනේ මට…
මට යාලූවො ගොඩක් නැහැ.. ටික දෙනයි ඉන්නේ.. ඒ ඉන්න අයෙගෙනුත් බොහොමයක් යාලූ කම මවා පාන අය..
ඒ කියන්නේ පිටින් පෙන්වන යාලූකම, ආදරේ ඇතුළෙ නැහැ.. ගෙදර ගියහම අපි යන්නේ කොයි වෙලාවෙද, අපෝ කන්න බොන්නත් දෙන්න වෙනවා නේද වගේ හිතන අය තමයි ඉන්නේ ගොඩක්..
ඒත් මං මේ කියන්න යන කෙනා ගොඩාක් වෙනස්…
හරිම අහිංසකයි, කඩවසම් කියලා කියන්නේ නෑ මං, මොකද ඊලගට ඕක ඔලූවට ගහලා ආඩම්බර වෙයි..
කොහොම වුනත් මෙයාව හම්බවුනේනම් හරිම අමුතු විදිහකට..
අපේ අයියගේ පරණ ගර්ල් ෆෙන්ඞ් (අපේ මනුස්සයගේ මෝඩ කමට මේ ගෑණු ළමයව අත් ඇරියට මෙයා මගේ නෑනා වුනානම් දාහෙන් සම්පතයි.. ඒත් මොනා කරන්නද?)
එයා තමයි මෙයාව මට අඳුන්වලා දුන්නේ..
“මල්ලි මගේ හරිම හොඳ යාලූවෙක් ඉන්නවා.. එයාටත් ඔයාට වගේම පිස්සු.. දෙන්න එකට හිටියොත් කියලා වැඩක් නැහැ, මං එයාව අඳුන්වලා දෙන්නද, එයා අසනීපෙන් ඉන්නේ, ඔයාට ඉතිං ඒ වගේ අය ආදරෙන් බලාගෙන පුරුදුයිනේ, එයාවත් බලාගන්න බැරිද කියලා.. “
මාත් හා කිව්වා.. අඳුරගත්තා.. කිව්වේ ඇත්ත තමයි.. මූට පිස්සු.. මට වගේම තමයි… ඒත් කිව්ව අනිත් දේවලූත් ඇත්ත. හරිම හොඳ කෙනෙක්.. කාලයාගේ ඇවෑමෙන් මෙයා මගේ හොඳම යාලූවා වුනා..
දෙන්නට දෙන්න නැතුවම බැරි වුනා..
මට සමහර දවස්වල පාන්දර 1ට බඩගිනියි කීවහම කිරිබත් උයලා දෙනවා.. නූඩ්ලස් හදලා දෙනවා.. කවදාවත් එයා ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ.. මං බඩගින්නේ කියලා තේරුනොත් එසැනින් වැඩ නවත්තලා මට උයලා දෙනවා.. මට එහෙ හිටිය දවස්ටිකේ කාලම එපා වුනා… කනවා, කනවා ඉවරයක් නෑ…
එපාම වෙන වැඬේ තමයි උගෙන් හරියට මම ගුටිත් කනවා.. ඇග හැදෙන්න ඕන මල්ලි කිය කියා ගහනවා මට.. ගෙදර යන දවසට විතරයි සැනසිල්ලෙ හිටියේ.. ගුටිකාලා අමාරුවෙන් හරි හිටියේ එතන ලොකු ලෙන්ගතුකමක්, සෙනෙහසක්, සහෝදරත්වයක්, මිත‍්‍රත්වයක් තිබ්බ හින්දා..
අර අක්කට තමයි මං ඉතිං ඔක්කොම කතා කරලා කියන්නේ.. මට කන්න දෙන ඒවා, ගහන ඒවා හැමදෙයක්ම..
දවසක් මට ඔෆිස් එකේ වැඩකට අනුරාධපුරේ යන්න තිබ්බා.. මං ඉතිං කොළඹ ඉඳං යන්න ඕන නිසා එදාට කලින් දවසේ එහෙ නතරවුනා..
රූ මං ඇහුවා “අයියේ මට හෙට කන්න ගෙනියන්න, ඔයා දවසක් හැදුවා වගේ බිත්තර දාලා සැන්විච් ටිකක් හදලා දෙන්න බැරිද කියලා.. “
එයා “හා මල්ලියෝ” කිව්වා.. පහුවෙනිදා උදේ මං නාන අතරේ මෙයා කඬේ ගිහින් පාන් ගෙනත් තිබ්බා.. දැන් බිත්තර ඔම්ලට් දානවා ඇහෙනවා.. රස මතක් වෙනකොට බාත්රූම් එකේ ඉන්නකොටම කටට කෙළත් ඉනුවා..
කොහොමහරි කන්න වෙනම ටිකක් දීලා මට කිරි එකකුත් හදලා දුන්නා.. සැන් මට පේනවා මෙයා සැන්විච් ඔතනවා.. ඒක මාර ලස්සනට කපලා, පිලිවෙළකට හදනවා.. මං කිව්වා “අයියෝ අයියේ ඕක නිකන් ඔතන්න, මට කන්නනේ” කියලා, මොකද ඔච්චර උයලත් තවත් එයාව මහන්සි කරන්න ඕන වුනේ නෑ මට..
එයා කිව්වා බැරිවෙලාවත් ඔයා ලග බස්එකේදි ලස්සන ගෑණු ලමයෙක් වාඩිවෙලා ගියොත් එයාටත් කෑල්ලක් දෙන්න වුනොත්, මේක කැතට තිබ්බොත් දෙන්න බැහැනේ, ඔයාගේ තත්වෙට මොකද වෙන්නේ කියලා..
මට පච් කියලත් හිතුනා.. මෙච්චර ආදරයක්.. මෙච්චර ලෙන්ගතුකමක් මට කවදාවත් පිට කෙනෙක්ගෙන් ලැබිලා නෑ..
ඕකත් අරන්, “මං ගිහින් එන්නම් අයියේ, පිරිස්සමෙන් ඉන්න, බුදුසරණයි” කියලා මාත් කොටුවට ආවා අනුරාධපුරේට බස් එක ගන්න..
මගෙත් ලක් එක වැඩ කරලද කොහෙද ලස්සන ගෑණු ළමයෙක් මගෙ ළගින් ඉඳගන්න ආවා, එයාට බෑග් එක උඩට දාන්න ඕන වුනා.. මාත් මහත්මාගතිය පෙන්වලා උදව් කලා..
“තෑන්ක්ස් ” ඒ ඇති ඉතිං මට අනුරාධපුරේට යනකන්..
යක්කල පහුවෙනකොට බඩගිනි ආවා.. පාන් එක අතට ගත්තා… ගෑණූ ළමයක් දැන් ලග, මාර ෆිට්.. යාලූවත් මට පාන් වැඩිපුර දුන්නා කෙල්ලෙක් සෙට් වුනොත් දෙන්න කියලා.. අනික තරු 7 හෝටලේක වගේ සැන්විච් එකත් ලස්සනට තියෙනවා..
මං පෙත්තක් අතට අරං අරයට දුන්නා, “තෑන්ක්ස් එපා” කිව්වා.. නොදකින්.. මාර ලැජ්ජාව.. කමක් නෑ, කෙල්ලට බඩගිනි නැතුව ඇති, මොකද නැග්ග ගමන් වඬේ 2ක් කනවා දැක්කා මම..
මංවත් කනවා කියලා එක පෙත්තක් කෑවා.. කියලා වැඩක් නෑ රස. විනාඩියට ඒක ඉවරයි.. ඊලග එකත් කෑවා.. දැන් දිව්‍යලෝකේ මැවිලා පේනවා.. ඊලග පෙත්ත ගන්නකොට කොලයක් වැටුනා පාන් අස්සේ තිබිලා..
“සුදු මල්ලි, ඔයා මේ සැන්විච් ඔක්කොම කන්ඩ ! හොඳද?”
මගේ ඇස් දෙකට කඳුලූ ආවා.. මෙච්චර ලෙන්ගතුකමක්, සහෝදරත්වයක්… මට හිතාගන්න බැරුව ගියා..
ගෑණූ ළමයත් ඕක දැක්කා.. “අපේ අයියා දාලා තියෙන්නේ, පව් අනේ, එයා මට හරි ආදරෙයි.. “
කිව්වේ බොරුවක් උනත් මං වෙනුවෙන් මෙහෙම දෙයක් කල එයාව පිට කෙනෙක් කරන්න ඕන වුනේ නෑ මට.. මං හැම වෙලාවෙම කියනවා වගේ “පවුල කියන්නේ ලේම නෙමෙයි, අපේ ජීවිතවල අපි වෙනුවෙන් ඉන්න අය.. “
දඹුල්ලෙදි මං ආයෙත් එයාට සැන්විච් දුන්නා, ආසාවෙන් කෑවා… ඊට පොඞ්ඩක් එහායින් එයා බැස්සා.. අපි දෙන්නගේ ආදර අන්දරය එතනින් ඉවර වුනා..
ඒත් ආයේ යන්න නොඉවසිල්ලෙන් හිටියේ..
ඒ මං මගේ යාලූවට කොච්චර ආදරෙයිද කියලා එයාගේ අතින් අල්ලගෙන එයාගේ මූණටම කියන්න ඕන වුන නිසා.. එයා නැතුව හදවතට පාලූවක් දැනුන නිසා..
ඔයා මගේ හොඳම යාලූවා.. මං ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි… ඔයාව මං කොහොම හරි සනීප කරගන්නවා.. මගේ ලගින් හැමදාම තියාගන්නවා..
මේ ආත්මයේ විතරක් නෙමේ.. අනෙක් හැම ආත්මෙකම මගේම වෙන්න.. යාලූවානෙමේ…. ලබන ආත්මේ මගේ සහෝදරයා වෙන්න..
මේ උත්තමාචාරය ඔබටයි..
–පෞද්ගලික අත්දැකීමකි —
by Danesh Edirisooriya | Jan 27, 2013 | Stories
මේ කතාව ගොඩක් පරණයි. ඒත් ආපහු දාන්න හිතුවේ ඒකේ තියෙන සංවේදීතාවය නිසයි… කියවන්න… ආදරය විඳින්න…
එතකොට මට අවරුදු 9යි…
ඉස්කෝලේ ඇරුනට පස්සේ අප්පච්චි එනවා මාව ගන්න බයිසිකලේ…
එතකොට අපිට ගොඩක් සල්ලි නැහැ…
ගොඩක් අමාරුවෙන් තමයි අප්පච්චි අපිව බලාගත්තේ…
එයා රස්සාව විදිහට කලේ බිම්මල් හදන එක…
ඉස්කෝලේ ඇරිලා ගෙදරට ටික දුරක් යන්න තිබ්බා…
මං ගියේ තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයට…
අපි ටික දුරක් යන කොට අප්පච්චි කඩයක් ලග බයිසිකලය නැවැත්තුවා…
මාව බිමට බස්සවලා මගේ ඔලුව එහෙම පීරගෙන මාව අතින් අල්ලගෙන කඬේට එක්ක ගියා…
තාත්තා මාව වාඩිකරවල ඇතුළට ගිහින් බීම බෝතල් දෙකක් ගෙනාවා…
“මගේ පුතා බොන්න පැණී බීම”
මං පැණි බීම වලට ගොඩක් ආසයි කියලා අප්පචිචි දන්න නිසා එයා පැණි බීම අරන්…
මං එක හුස්මට බීගෙන බීගෙන ගිහින් බෝතලේමය ඉවර කලා..
“රසයි අප්පච්චි”
“එහෙනම් පුතා මේකත් බොන්න” අප්පච්චි කිව්වා…
“එතකොට අප්පච්චිට” කියන ගමන් මං ඒ බෝතලෙත් එක හුස්මට බීලා දැම්මා…
මා දෙස ආදරෙන් බලා සිනාසුන අප්පච්චි මගේ ඔලූව අතගා “අපි එහෙනම් යමු පුතේ” කීවා…
මං බයිසිකලේට නගින්න යනකොට අප්පච්චි එතන තිබ්බ ටැප් එකකින් වතුර වීදුරු 2,3ක් බොනවා මං දැක්කා…
“දෙයියනේ, අප්පච්චිත් ගොඩක් තිබහෙන් නේද ඉඳලා තියෙන්නේ…”
මං වෙනුවෙන් හැම දුකක්ම විඳ දරාගත්ත අප්පච්චි…
මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි….