මම දැනගෙන හිටිය මගේ තාත්ත කවදාවත් මට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියල

මම දැනගෙන හිටිය මගේ තාත්ත කවදාවත් මට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියල

දවසක් ගුවන් යානයක් වලාකුළු වලටත් ඉහලින් පියාසර කරමින් තිබෙන අවස්ථාවක
ගුවන් යානයේ සමබරතාවය නැතිව දෙපැත්තට පැද්දෙන්න පටන්ගත්ත
මුළු ගුවන් යානයේම හිටිය මිනිස්සු බයෙන් කෑ ගහන්න පටන් ගත්ත.
ඒත් එකම එක පුංචි ගෑනු ළමයෙක් විතරක් මේ බවක් නොදැනුනා
වගේ එයාගෙ සෙල්ලම්බඩු වලින් සෙල්ලම් කරන්න පටන් ගත්ත
පැයකට විතර පස්සෙ මේ ගුවන් යානය ආරක්ෂිතව ගුවන් තොටුපලට ගොඩබෑව
එක මනුස්සයෙක් ගුවන් යානයෙන් බිමට ආවට පස්සෙ
ගිහින් අර පුංචි ගෑනු ළමයාගෙන් ඇහුව
“කොහොමද ඔයා ඔක්කොම මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවෙ බය නැතුව සෙල්ලම් කලේ” කියල.
ඒ පුංචි ගෑනු ළමය උත්තර දුන්න,
“මේ ගුවන් යානෙ පදවන්නෙ මගේ තාත්ත
මම දැනගෙන හිටිය මගේ තාත්ත කවදාවත් මට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියල”
ඕනෙම ගැහැනු ළමයෙක් බලා පොරොත්තු වෙන්නේ තාත්තා වගේම තමන්ව ආදරෙන් විශ්වාසයෙන් බලා ගන්න ස්වාමියෙක්ව.

 

ඔබ පිරිමියෙක් නම් සෑම ගැහැණියක්ම අගය කරන්න

ඔබ පිරිමියෙක් නම් සෑම ගැහැණියක්ම අගය කරන්න

මං ඉපදුන දවසේ මාව වැළඳගන්න ගැහැණියක් හිටියා. එයා මගේ අම්මා
මං ලොකු වෙනකොට මාව බලාගන්න, මාත් එකක් සෙල්ලම් කරන්න. එයා මගේ සහෝදරිය
මං පාසල් ගියහම මට ඉගෙන ගන්න ගැහැණු කෙනෙක් උදව් කලා. ඒ මගේ ගුරුතුමිය
මට දුකක් ඇතිවුනහම උරහිසට හේත්තු වෙන්න ගැහැණු කෙනෙක් හිටියා. ඒ මගේ ගැහැණු ළමයා
මාව අසනීප උනහම මාව බලාගන්න, මගේ තනියට ඉන්න ගැහැණු කෙනෙක් හිටියා. ඒ මගේ බිරිඳ
මට තරහ ගියහම මගේ හදවත උණු කරන්න, මගේ තරහව අඩු කරන්න ගැහැණු කෙනෙක් හිටියා. ඒ මගේ දුව
මාව මැරුණහම මාව පොළොවට එකතු කරගන්න මගේ මව් බිම තියෙනවා

ඔබ පිරිමියෙක් නම් සෑම ගැහැණියක්ම අගය කරන්න…
ඔබ ගැහැණියක් නම් ඒ පිළිබඳ ආඩම්බර වන්න.

 

මං ජීවිතය විඳින හැටි

මං ජීවිතය විඳින හැටි

මට දැන් අවුරුදු 26යි. තාම තනිකඩයි. ගෑණු ළමයෙක් ඉන්නවා. ඒත් එයාට ගෙදරින් කැමති නැහැ… එයාට මං ගොඩක් ආදරෙයි… එයා මට මුණගැහුනේ 2007. මගේ අම්මා, තාත්තට මාව ලැබුනේ 1986, අවුරුදු 26ට කලින්. ඉතිං ගෑණු ළමයට ආදරෙයි කියලා මට එයාලව දාලා යන්න බෑනේ. ඒක හින්දා අපි දෙපැත්තකට වුණා. ඒත් කැමැත්ත දෙනකම් තාමත් දෙන්නම බලාගෙන ඉන්නවා එකතු වෙන්න.

මං 1998 තමයි ඉස්සරවෙලාම පරිගණක පැත්තට යොමුවුනේ. තනියම තමයි ඉගෙන ගත්තේ. පරිගණක පාඨමාලාවක් මුලින්ම කලේ 2012දී. එතකම් මං හැමදෙයක්ම ඉගෙන ගත්තේ තනියම. හැබැයි මං බය නැතුව කියනවා ඩිග්රි එකක් තියෙන කෙනෙක්ට වඩා මං ඉදිරියෙන් ඉන්නවා කියලා.

මං පරිගණක ක්ෂේත‍්‍රයේ වෙබ්, ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් සහ මොබයිල් ඇප්ලිකේෂන් වගේම රොබෝ තාක්‍ෂණය පිළිබඳද දැනුම තියෙන කෙනෙක්… හැම දෙයක්ම වෙනස් විදිහට හිතන කෙනෙක්…

හ්ම් දැන් ඔය කතා ඇති මං ඉක්මනටම 2012 අවුරුද්දට එන්නම්…
මං මුලින්ම රැකියාවක් කලේ 2007. ඒ අපේ ගමේ. ඊට පස්සේ කොළඔට ආවා 2009 ජනවාරි 01. මං ඒ ගෙදරින් පිට හිටියමයි… මං ගොඩක් හුරතලයට හැදුන කෙනෙක්. ගෙදරින් එළියට බහින්නෙම නෑ… ගෙදර අය හරියට බයෙන් හිටියේ තනියෙන් තියන්න. ඒත් මං හිටියා. 2009 අපේ‍්‍රල් 24 මගේ තාත්තා නැතිවුනා. ඊට පස්සේ තමයි මට ගොඩක් තේරුනේ තනියම ඉන්න එක කොච්චර අමාරුද කියලා…

ඒත් මං පුරුදු වුනා තනියම ජීවිතේ ගෙවන්න. එදා ඉඳන් මං වැඩකලේ එකම ආයතනයක. ඒක සමාජ සේවය වගේම තාක්‍ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක්. 2011 අවසානයේ මට හිතුනා ජීවිතේ ලොකු අඩුවක් තියේ කියලා. මොකද මං නිදාගත්තේ දවසට පැය 2,3යි. ලැප් එකේ එක දිගට වැඩ කලා. අළුත් අළුත් නිර්මාණ ගොඩක් හැදුවා. මගේ විනෝදාංශය වුනේ නව නිර්මාණ… තාක්‍ෂණික නිර්මාණ… ඒවායින් මගේ ජීවිතය සතුටින් පිරුනා. සල්ලි ගැන මං වැඩිය හිතුවේ. මගේ සැලරි එක එන බෑන්ක් කාර්ඩ් එක තිබ්බේ අයියා ගාව. මං කෑමට සහ බස් එකේ යන්න විතරයි සල්ලි ඉල්ලගත්තේ… ඉතිරි දේවල් එයාට…

ඒත් ජීවිතේ ලොකු අඩුවක් දැනුනා… මං හිතුවා රැකියාවෙන් අයින් වෙන්න. ජීවිතය වෙනස් විදිහට විඳලා බලන්න හිතුවා. අධ්‍යාපනය ගැනත් හිතුවා. ඊට පස්සේ මං මගේ පරිගණක උපාධිය ගන්න අධ්‍යාපන ආයතනයකට ගියා… ඒ ටිකේ ඉන්න ලොකු ගෙයකුත් ගත්තා. ක්ලාස් යන්නේ සතියට එක දවසයි. ඉතිරි ටික ඒ ගෙදර. මං තනියම උයන්න පුරුදු වුනා… මගේ යාළු අක්කා කෙනෙක් හිටියා එයා මට උයන හැටි පොතක් දුන්නා, මං ඒක බලාගෙන කෑම හැදුවා. රස නැති වුනත් ලස්සනට…

අපේ ගමේ ගෙදර වත්ත පුරාම මං මල් හැදුවා… මේ තියෙන්නේ මං හදපු මල්…

1. https://www.facebook.com/media/set/?set=a.343177499052933.70338.100000820578834&type=3

2. https://www.facebook.com/media/set/?set=a.335934506443899.68998.100000820578834&type=3

3. https://www.facebook.com/media/set/?set=a.330338263670190.67882.100000820578834&type=3

මං ඕවා හදන්න ගෙදරදි ගොඩක් මහන්සි වුනා… දවසම හිටියේ මල් එක්ක… ඊට පස්සේ අම්මට උදව් කලා උයන්න, මිරිස කපන්න, හාල්මැස්සෝ සුද්ධ කරන්න වගේ පොඩි පොඩි දේවල් වලට… මං ඒවා කරන අතර ඒවා ගොඩක් ආසාවෙන් වින්ඳා….

තනියම මැලේසියා ගිහින් සතියක් ඇවිදලා ආවා… ලංකාව පුරා ගියා… එක එක දේවල් ඉගෙන ගත්තා… ආදරේ කලා. අළුතෙන් යාළුවෝ අඳුරගත්තා…මගේ හොඳම යාළුවාව මං අඳුරගත්තේ මීට මාස 4ට කලින්…

හවසට අහස දිහා බලාගෙන ඉන්නවා… හඳ තරු දිහා බලාගෙන ඉන්නවා… ඇල ලගට ගිහින් මාළු පීනන හැටි බලාගෙන ඉන්නවා… කකුල් දෙක ඇලට දාගෙන ඉන්නවා…ගස්වල කූඹි යන දිහා බලාගෙන ඉන්නවා… අහසේ වලාකුළු පාවෙන දිහා බලාගෙන ඉන්නවා… ඔය වගේ වැඩ තමයි කලේ…

ක්ලාස් එක මැයි වල ඉවර වුනා. ඊට පස්සේ මං ආයෙත් ජොබ් එකට ගියේ නැහැ. ඒත් සතියට දවසක් එතනට ගිහින් කෙරෙන්න ඕන වැඩ ටික කෙරුවා… ඉතිරි දවස් 6 නිදහසේ ගත කලා… හැමෝම මේක කරන්න එපා… මට ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙන නිසයි මං එහෙම කලේ… ඒක නිසා හැමෝටම මේක ප‍්‍රායෝගිකව කරන්න බෑ… හැබැයි මේ ඇති තරම් කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මට ගොඩක් සල්ලි ඕන නැහැ. මට ජීවත් වෙන්න සල්ලි තිබ්බහම ඇති පොඩ්ඩක්… කෑමටයි… ටෙලිෆෝන් සහ ඉන්ටර්නෙට් බිලටයි, බස් එකේ යන්නයි, බෝඩිමටයි විතරයි මට සල්ලි වුවමනා කරන්නේ.

අනික වැදගත්ම දේ තමයි මං මාස 3ක් ම එක දිගට කිසිම වැඩක් නොකර “ආදරෙයි අහස තරම්” එක්ක හිටියා… ඒක නිසා මගේ හිත සැහැල්ලු වුනා ගොඩක්… මගේ හිතේ තියෙන හැම දෙයක්ම ප‍්‍රකාශ කරන්න ඒක වේදිකාවක් වුනා… අනෙක් අයටත් එහෙමයි…

ඉතිං මං සතුටෙන් ඉන්නවා… ජීවිතේ අත් විඳින පොඩි පොඩි දේවලින් මට සතුට ගේනවා… කොහොම වුනත් එක එක්කෙනා ජීවිතේ විඳින්නේ වෙනස් විදිහට… ඔයාලට ගැලපෙන විදිහට ජීවිතේ විඳින්න… ඒත් විඳවන්න එපා…

හිතාගන්න බැරි තරම් ආදරණීය මතකයන්

හිතාගන්න බැරි තරම් ආදරණීය මතකයන්

2012 සහ 2013

අද 2012 දෙසැම්බර් 31, අවුරුද්දේ අන්තිම දවස. පහුගිය වසර තුළ මට
හිතාගන්න බැරි තරම් ආදරණීය මතකයන් ගොඩක් තියෙනවා…
මං මගේ ජීවිතේ ලොකුම වෙනස්කම් ඇති කරගත්තේ 2012දී.
රැකියාවෙන් ඉවත්වුණා, අධ්‍යාපනයට යොමුවුනා, ආදරය කරන්න පටන්ගත්තා.

2013 මගේ ජීවිතයේ ලොකුම වෙනස්කම් සිදුවන වසර වෙන එක නියතයි…
මම ජීවිතයේ ගොඩක් ඉදිරියට යනවා මේ අවුරුද්ද තුලදී…
කාටවත් මාව නවත්වන්නට බැහැ…
මං ගාව තියෙන ආදරය, සෙනෙහස ඔක්කොම මං ඔයාට දෙනවා…
ඔයාව ආදරෙන් බලාගන්නවා…

 

මගේ හොඳම යෙහෙළිය

මගේ හොඳම යෙහෙළිය

නෙත්මි… මගේ හොඳම යෙහෙළිය. අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ එකට, කෑවේ, බීවේ එකට, සෙල්ලම් කලේ, සමහර වෙලාවට නිදා ගත්තෙත් එකට… එයා මගේ ජීවිතේ වෙලා හිටියේ…

මට මොනවහරි රස කෑමක් ලැබුනොත් එයාට දෙන්න මං ඒක හංගගෙන තියාගෙන ඉන්නවා… සමහර දේවල් පරණ වෙලා විසික් කලත් එක්ක… අපේ අතීතය හරිම සුන්දරයි. එයත් මගෙම වයසේ.

අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් හින්දි ෆිල්ම් බැලූවා. අපි හිතාගෙන හිටියේ ඒ ෆිල්ම් වල වගේ කසාද බඳින්න. හැබැයි අපි දෙන්නා නෙමේ. මොකද අපි අතර තිබුනේ පේ‍්‍රමය නෙමෙයි… මිත‍්‍රත්වය සහ සහෝදරත්වය… පේ‍්‍රමයට කවදාවත් ලගාවෙන්න බැරි උත්තරීතර ආදරයක් අපි දෙන්නා අතර තිබුණේ.

එයා දුකක් ඇති වුනහම මගේ පපුවට තුරුල් වෙලා අඩනවා… මාත් එහෙමයි… කාට හරි තුවාලයක් වුනොත් අඩන්නේ අනික් කෙනා… මට මතකයි එකපාරක් අහක යන එල්ලේ ගහන බැට් එකක් මගේ දණහිස්සේ වැදිලා කකුලේ ඇටේ පැනලා සතියක් විතර ඇඳේ හිටියා… ඒ සතියම එයා මං ලගින් හිටියා… එතකොට මං 6 වසරේ… අපි දෙන්නා සෙල්ලම් කලේ තනියම…

ඒ ආදරේ මතක් වෙනකොටත් ලෝබයි… කොහොමහරි අපි හිතාගෙන හිටියේ එකම දවසේ එකම පෝරුවෙ කසාද බඳින්න. හදිසියෙවත් එයාට කොල්ලෙක් හොයාගන්න බැරි වුනොත් අපේ අයියව සෙට් කරන්න මං බලාගෙන හිටියේ… මොකද ඇහැට කනට පේන කෙල්ල නිසා අයියා ඇහැ ගහගෙන හිටියේ…

බොරු කියන්න ඕන නැහැ අපි ඉස්කෝලේ උස්සපෙළ කරන කාලෙත් සමහර දවස් වලට එකට නිදාගෙන ඉන්නවා… අපේ ගෙදරය අයත් දකිනවා… එයාගේ ගෙදර අයත් දකිනවා… ඒත් හැමෝටම අපිව විශ්වාසයි… මං කොහොමත් කොහෙ හරි යන කොට ගෙදර ඉන්න හැමෝටම මුහුණ දෙපැත්තට කිස් 4ක් දීලා යනවා… මෙයාටත් දීලා යනවා… හැබැයි 5ක්. එකක් දෙනවා නළලට… අනේ මතක් වෙනකොටත් දුකයි මට… එයා උදේට නාලා ඉන්නකොට එයා ලගින් එන්නේ පොඩි එකෙක්ගේ සුවඳ. මං ඒක විඳින්න හරි ආසයි…

උසස් පෙළ කරලා ඉවර වෙනකම් මං කෙල්ලෙක් එක්ක යාළු වුනේ නැහැ. ඕන කමක් තිබ්බේ නැහැ. හැබැයි උසස් පෙළ අන්තිම පේපර් එක ලියන දවසේ වැරදි අංකයකින් කෝල් එකක් ආපු කෙල්ලෙක්ට මං ආදරය කරන්න පටන් ගත්තා… මං ඒ කතාව ඉස්සරහදි කියන්නම්… දැන් මං හරි… අරයට හොයන්න පටන්ගත්තා… ඕන තරම් කොල්ලොනම් එයි, මොකද එයා මාර ලස්සනයි… එයාගේ හිනාව හරියට හින්දි නිළියක් ඉන්නේ අනුෂ්කා ෂර්මා කියලා, අන්න ඒ වගේ… අපේ අයියා උදේ හවස හූල්ල හූල්ල ඉන්නවා දැකලා තියේ මං එයාට තුරුල්වෙලා ගෙදර ඉස්තෝප්පුවට වෙලා ඉන්නකොට… ඇයි මට මේ ලැබුණ නිදහස එයාට ලැබුණනම් කියලා…

ඒ 2005 දෙසැම්බර්. අපි ගියා නුවරඑළි ටි‍්‍රප් එකක්. අපි ඇවිද ඇවිද ඉන්නකොට එයා එක පාරටම මගේ අත අල්ලගත්තා. කලන්තෙයි කියලා කිව්වා. එයාට ගොඩක් අමාරු වුණා. අපි එයාව හොස්පිටල් එකට ඇඞ්මිට් කලා… ටික දවසකින් තමයි අපි දැනගත්තේ එයාට පිළිකාවක් කියලා… ගොඩාක් පැතිරිලා… අපි පරක්කු වැඩියි කියලයි ඩොක්ටර්ස්ලා කීවේ… මං ඒ දේ අහපු වෙලාවෙ ඉඳන් හිතාගන්න බැහැ කොහොමද හිටියේ කියලා… අනේ ඒ අහිංසක කෙල්ල… කොච්චර ලස්සන බලාපොරොත්තු තියාගෙනද හිටියේ ජීවිතේ ගැන… කොච්චර හීන තිබ්බද එයාට, අපිට…

මං එයා ලගින්ම හිටියා… දිගටම… 2007 මාර්තු 13 එයා මාව තනි කරලා දාලා ගියා… සදහටම… එකට කසාද බැඳලා, එක ලොකු ගෙදරක් ඇරන් පවුල් දෙකම එකට ඉමු කියලා කියපු එයා මාව දාලා ගියා…

මගේ යාළුවො ගොඩක් අය බැඳලා දැන් ළමයි 2,3 ඉන්නවා… ඒත් මං තාමත් බලාගෙන ඉන්නවා එයා එනකම්, එයත් එක්ක එක පෝරුවක කසාද බඳින්න… ඔයාට මං අහස තරම් නෙමේ, මේ මුළු විශ්වය තරම්ම ආදරෙයි… ඔයා නැති ලෝකෙක මට සතුට නැහැ…

ආදරණීය නෙත්මි, ඔයාගේ ඒ සුවඳ, උණුහුම, සෙනෙහස මට තාමත් මතකයි… තාමත් මං ඒ දේවල් හිතින් විඳවනවා…

පලි: මම “හිතවත්කම” ලේ දන්දීමේ වැඩසටහන “ආදරෙයි අහස තරම්” තුළින් කරන්න හිතුවෙ නෙත්මි වෙනුවෙන්… එයා වගේ අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් ලේ දෙන්නයි ඒ වැඩසටහන පටන් ගත්තේ… ආදරණීය රසික රසිකාවියනි, ඔබගෙත් මේ වගේ ආදරණීයයන් පිළිකා රෝගයෙන් පෙළෙනවා ඇති, දැනටමත් ඔබව හැරගොස් ඇති… ඒ අය වෙනුවෙන් ඔබත් අදම මේ මහගු සත්කාරයට සම්බන්ධ වන්න… අපි මේ ලේ දන්දීමේ වැඩසටහන සෑම මසකම පවත්වන්න හිතුවා…