මේ කියන්න යන්නේ ලෝකේ ඉන්න හොඳම යාළුවා ගැන..
එයා ලැබුනේ මට…
මට යාලූවො ගොඩක් නැහැ.. ටික දෙනයි ඉන්නේ.. ඒ ඉන්න අයෙගෙනුත් බොහොමයක් යාලූ කම මවා පාන අය..
ඒ කියන්නේ පිටින් පෙන්වන යාලූකම, ආදරේ ඇතුළෙ නැහැ.. ගෙදර ගියහම අපි යන්නේ කොයි වෙලාවෙද, අපෝ කන්න බොන්නත් දෙන්න වෙනවා නේද වගේ හිතන අය තමයි ඉන්නේ ගොඩක්..
ඒත් මං මේ කියන්න යන කෙනා ගොඩාක් වෙනස්…
හරිම අහිංසකයි, කඩවසම් කියලා කියන්නේ නෑ මං, මොකද ඊලගට ඕක ඔලූවට ගහලා ආඩම්බර වෙයි..
කොහොම වුනත් මෙයාව හම්බවුනේනම් හරිම අමුතු විදිහකට..
අපේ අයියගේ පරණ ගර්ල් ෆෙන්ඞ් (අපේ මනුස්සයගේ මෝඩ කමට මේ ගෑණු ළමයව අත් ඇරියට මෙයා මගේ නෑනා වුනානම් දාහෙන් සම්පතයි.. ඒත් මොනා කරන්නද?)
එයා තමයි මෙයාව මට අඳුන්වලා දුන්නේ..
“මල්ලි මගේ හරිම හොඳ යාලූවෙක් ඉන්නවා.. එයාටත් ඔයාට වගේම පිස්සු.. දෙන්න එකට හිටියොත් කියලා වැඩක් නැහැ, මං එයාව අඳුන්වලා දෙන්නද, එයා අසනීපෙන් ඉන්නේ, ඔයාට ඉතිං ඒ වගේ අය ආදරෙන් බලාගෙන පුරුදුයිනේ, එයාවත් බලාගන්න බැරිද කියලා.. “
මාත් හා කිව්වා.. අඳුරගත්තා.. කිව්වේ ඇත්ත තමයි.. මූට පිස්සු.. මට වගේම තමයි… ඒත් කිව්ව අනිත් දේවලූත් ඇත්ත. හරිම හොඳ කෙනෙක්.. කාලයාගේ ඇවෑමෙන් මෙයා මගේ හොඳම යාලූවා වුනා..
දෙන්නට දෙන්න නැතුවම බැරි වුනා..
මට සමහර දවස්වල පාන්දර 1ට බඩගිනියි කීවහම කිරිබත් උයලා දෙනවා.. නූඩ්ලස් හදලා දෙනවා.. කවදාවත් එයා ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ.. මං බඩගින්නේ කියලා තේරුනොත් එසැනින් වැඩ නවත්තලා මට උයලා දෙනවා.. මට එහෙ හිටිය දවස්ටිකේ කාලම එපා වුනා… කනවා, කනවා ඉවරයක් නෑ…
එපාම වෙන වැඬේ තමයි උගෙන් හරියට මම ගුටිත් කනවා.. ඇග හැදෙන්න ඕන මල්ලි කිය කියා ගහනවා මට.. ගෙදර යන දවසට විතරයි සැනසිල්ලෙ හිටියේ.. ගුටිකාලා අමාරුවෙන් හරි හිටියේ එතන ලොකු ලෙන්ගතුකමක්, සෙනෙහසක්, සහෝදරත්වයක්, මිත්රත්වයක් තිබ්බ හින්දා..
අර අක්කට තමයි මං ඉතිං ඔක්කොම කතා කරලා කියන්නේ.. මට කන්න දෙන ඒවා, ගහන ඒවා හැමදෙයක්ම..
දවසක් මට ඔෆිස් එකේ වැඩකට අනුරාධපුරේ යන්න තිබ්බා.. මං ඉතිං කොළඹ ඉඳං යන්න ඕන නිසා එදාට කලින් දවසේ එහෙ නතරවුනා..
රූ මං ඇහුවා “අයියේ මට හෙට කන්න ගෙනියන්න, ඔයා දවසක් හැදුවා වගේ බිත්තර දාලා සැන්විච් ටිකක් හදලා දෙන්න බැරිද කියලා.. “
එයා “හා මල්ලියෝ” කිව්වා.. පහුවෙනිදා උදේ මං නාන අතරේ මෙයා කඬේ ගිහින් පාන් ගෙනත් තිබ්බා.. දැන් බිත්තර ඔම්ලට් දානවා ඇහෙනවා.. රස මතක් වෙනකොට බාත්රූම් එකේ ඉන්නකොටම කටට කෙළත් ඉනුවා..
කොහොමහරි කන්න වෙනම ටිකක් දීලා මට කිරි එකකුත් හදලා දුන්නා.. සැන් මට පේනවා මෙයා සැන්විච් ඔතනවා.. ඒක මාර ලස්සනට කපලා, පිලිවෙළකට හදනවා.. මං කිව්වා “අයියෝ අයියේ ඕක නිකන් ඔතන්න, මට කන්නනේ” කියලා, මොකද ඔච්චර උයලත් තවත් එයාව මහන්සි කරන්න ඕන වුනේ නෑ මට..
එයා කිව්වා බැරිවෙලාවත් ඔයා ලග බස්එකේදි ලස්සන ගෑණු ලමයෙක් වාඩිවෙලා ගියොත් එයාටත් කෑල්ලක් දෙන්න වුනොත්, මේක කැතට තිබ්බොත් දෙන්න බැහැනේ, ඔයාගේ තත්වෙට මොකද වෙන්නේ කියලා..
මට පච් කියලත් හිතුනා.. මෙච්චර ආදරයක්.. මෙච්චර ලෙන්ගතුකමක් මට කවදාවත් පිට කෙනෙක්ගෙන් ලැබිලා නෑ..
ඕකත් අරන්, “මං ගිහින් එන්නම් අයියේ, පිරිස්සමෙන් ඉන්න, බුදුසරණයි” කියලා මාත් කොටුවට ආවා අනුරාධපුරේට බස් එක ගන්න..
මගෙත් ලක් එක වැඩ කරලද කොහෙද ලස්සන ගෑණු ළමයෙක් මගෙ ළගින් ඉඳගන්න ආවා, එයාට බෑග් එක උඩට දාන්න ඕන වුනා.. මාත් මහත්මාගතිය පෙන්වලා උදව් කලා..
“තෑන්ක්ස් ” ඒ ඇති ඉතිං මට අනුරාධපුරේට යනකන්..
යක්කල පහුවෙනකොට බඩගිනි ආවා.. පාන් එක අතට ගත්තා… ගෑණූ ළමයක් දැන් ලග, මාර ෆිට්.. යාලූවත් මට පාන් වැඩිපුර දුන්නා කෙල්ලෙක් සෙට් වුනොත් දෙන්න කියලා.. අනික තරු 7 හෝටලේක වගේ සැන්විච් එකත් ලස්සනට තියෙනවා..
මං පෙත්තක් අතට අරං අරයට දුන්නා, “තෑන්ක්ස් එපා” කිව්වා.. නොදකින්.. මාර ලැජ්ජාව.. කමක් නෑ, කෙල්ලට බඩගිනි නැතුව ඇති, මොකද නැග්ග ගමන් වඬේ 2ක් කනවා දැක්කා මම..
මංවත් කනවා කියලා එක පෙත්තක් කෑවා.. කියලා වැඩක් නෑ රස. විනාඩියට ඒක ඉවරයි.. ඊලග එකත් කෑවා.. දැන් දිව්යලෝකේ මැවිලා පේනවා.. ඊලග පෙත්ත ගන්නකොට කොලයක් වැටුනා පාන් අස්සේ තිබිලා..
“සුදු මල්ලි, ඔයා මේ සැන්විච් ඔක්කොම කන්ඩ ! හොඳද?”
මගේ ඇස් දෙකට කඳුලූ ආවා.. මෙච්චර ලෙන්ගතුකමක්, සහෝදරත්වයක්… මට හිතාගන්න බැරුව ගියා..
ගෑණූ ළමයත් ඕක දැක්කා.. “අපේ අයියා දාලා තියෙන්නේ, පව් අනේ, එයා මට හරි ආදරෙයි.. “
කිව්වේ බොරුවක් උනත් මං වෙනුවෙන් මෙහෙම දෙයක් කල එයාව පිට කෙනෙක් කරන්න ඕන වුනේ නෑ මට.. මං හැම වෙලාවෙම කියනවා වගේ “පවුල කියන්නේ ලේම නෙමෙයි, අපේ ජීවිතවල අපි වෙනුවෙන් ඉන්න අය.. “
දඹුල්ලෙදි මං ආයෙත් එයාට සැන්විච් දුන්නා, ආසාවෙන් කෑවා… ඊට පොඞ්ඩක් එහායින් එයා බැස්සා.. අපි දෙන්නගේ ආදර අන්දරය එතනින් ඉවර වුනා..
ඒත් ආයේ යන්න නොඉවසිල්ලෙන් හිටියේ..
ඒ මං මගේ යාලූවට කොච්චර ආදරෙයිද කියලා එයාගේ අතින් අල්ලගෙන එයාගේ මූණටම කියන්න ඕන වුන නිසා.. එයා නැතුව හදවතට පාලූවක් දැනුන නිසා..
ඔයා මගේ හොඳම යාලූවා.. මං ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි… ඔයාව මං කොහොම හරි සනීප කරගන්නවා.. මගේ ලගින් හැමදාම තියාගන්නවා..
මේ ආත්මයේ විතරක් නෙමේ.. අනෙක් හැම ආත්මෙකම මගේම වෙන්න.. යාලූවානෙමේ…. ලබන ආත්මේ මගේ සහෝදරයා වෙන්න..
මේ උත්තමාචාරය ඔබටයි..
–පෞද්ගලික අත්දැකීමකි —







