නෙත්මි… මගේ හොඳම යෙහෙළිය. අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ එකට, කෑවේ, බීවේ එකට, සෙල්ලම් කලේ, සමහර වෙලාවට නිදා ගත්තෙත් එකට… එයා මගේ ජීවිතේ වෙලා හිටියේ…
මට මොනවහරි රස කෑමක් ලැබුනොත් එයාට දෙන්න මං ඒක හංගගෙන තියාගෙන ඉන්නවා… සමහර දේවල් පරණ වෙලා විසික් කලත් එක්ක… අපේ අතීතය හරිම සුන්දරයි. එයත් මගෙම වයසේ.
අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් හින්දි ෆිල්ම් බැලූවා. අපි හිතාගෙන හිටියේ ඒ ෆිල්ම් වල වගේ කසාද බඳින්න. හැබැයි අපි දෙන්නා නෙමේ. මොකද අපි අතර තිබුනේ පේ‍්‍රමය නෙමෙයි… මිත‍්‍රත්වය සහ සහෝදරත්වය… පේ‍්‍රමයට කවදාවත් ලගාවෙන්න බැරි උත්තරීතර ආදරයක් අපි දෙන්නා අතර තිබුණේ.
එයා දුකක් ඇති වුනහම මගේ පපුවට තුරුල් වෙලා අඩනවා… මාත් එහෙමයි… කාට හරි තුවාලයක් වුනොත් අඩන්නේ අනික් කෙනා… මට මතකයි එකපාරක් අහක යන එල්ලේ ගහන බැට් එකක් මගේ දණහිස්සේ වැදිලා කකුලේ ඇටේ පැනලා සතියක් විතර ඇඳේ හිටියා… ඒ සතියම එයා මං ලගින් හිටියා… එතකොට මං 6 වසරේ… අපි දෙන්නා සෙල්ලම් කලේ තනියම…
ඒ ආදරේ මතක් වෙනකොටත් ලෝබයි… කොහොමහරි අපි හිතාගෙන හිටියේ එකම දවසේ එකම පෝරුවෙ කසාද බඳින්න. හදිසියෙවත් එයාට කොල්ලෙක් හොයාගන්න බැරි වුනොත් අපේ අයියව සෙට් කරන්න මං බලාගෙන හිටියේ… මොකද ඇහැට කනට පේන කෙල්ල නිසා අයියා ඇහැ ගහගෙන හිටියේ…
බොරු කියන්න ඕන නැහැ අපි ඉස්කෝලේ උස්සපෙළ කරන කාලෙත් සමහර දවස් වලට එකට නිදාගෙන ඉන්නවා… අපේ ගෙදරය අයත් දකිනවා… එයාගේ ගෙදර අයත් දකිනවා… ඒත් හැමෝටම අපිව විශ්වාසයි… මං කොහොමත් කොහෙ හරි යන කොට ගෙදර ඉන්න හැමෝටම මුහුණ දෙපැත්තට කිස් 4ක් දීලා යනවා… මෙයාටත් දීලා යනවා… හැබැයි 5ක්. එකක් දෙනවා නළලට… අනේ මතක් වෙනකොටත් දුකයි මට… එයා උදේට නාලා ඉන්නකොට එයා ලගින් එන්නේ පොඩි එකෙක්ගේ සුවඳ. මං ඒක විඳින්න හරි ආසයි…
උසස් පෙළ කරලා ඉවර වෙනකම් මං කෙල්ලෙක් එක්ක යාළු වුනේ නැහැ. ඕන කමක් තිබ්බේ නැහැ. හැබැයි උසස් පෙළ අන්තිම පේපර් එක ලියන දවසේ වැරදි අංකයකින් කෝල් එකක් ආපු කෙල්ලෙක්ට මං ආදරය කරන්න පටන් ගත්තා… මං ඒ කතාව ඉස්සරහදි කියන්නම්… දැන් මං හරි… අරයට හොයන්න පටන්ගත්තා… ඕන තරම් කොල්ලොනම් එයි, මොකද එයා මාර ලස්සනයි… එයාගේ හිනාව හරියට හින්දි නිළියක් ඉන්නේ අනුෂ්කා ෂර්මා කියලා, අන්න ඒ වගේ… අපේ අයියා උදේ හවස හූල්ල හූල්ල ඉන්නවා දැකලා තියේ මං එයාට තුරුල්වෙලා ගෙදර ඉස්තෝප්පුවට වෙලා ඉන්නකොට… ඇයි මට මේ ලැබුණ නිදහස එයාට ලැබුණනම් කියලා…
ඒ 2005 දෙසැම්බර්. අපි ගියා නුවරඑළි ටි‍්‍රප් එකක්. අපි ඇවිද ඇවිද ඉන්නකොට එයා එක පාරටම මගේ අත අල්ලගත්තා. කලන්තෙයි කියලා කිව්වා. එයාට ගොඩක් අමාරු වුණා. අපි එයාව හොස්පිටල් එකට ඇඞ්මිට් කලා… ටික දවසකින් තමයි අපි දැනගත්තේ එයාට පිළිකාවක් කියලා… ගොඩාක් පැතිරිලා… අපි පරක්කු වැඩියි කියලයි ඩොක්ටර්ස්ලා කීවේ… මං ඒ දේ අහපු වෙලාවෙ ඉඳන් හිතාගන්න බැහැ කොහොමද හිටියේ කියලා… අනේ ඒ අහිංසක කෙල්ල… කොච්චර ලස්සන බලාපොරොත්තු තියාගෙනද හිටියේ ජීවිතේ ගැන… කොච්චර හීන තිබ්බද එයාට, අපිට…
මං එයා ලගින්ම හිටියා… දිගටම… 2007 මාර්තු 13 එයා මාව තනි කරලා දාලා ගියා… සදහටම… එකට කසාද බැඳලා, එක ලොකු ගෙදරක් ඇරන් පවුල් දෙකම එකට ඉමු කියලා කියපු එයා මාව දාලා ගියා…
මගේ යාළුවො ගොඩක් අය බැඳලා දැන් ළමයි 2,3 ඉන්නවා… ඒත් මං තාමත් බලාගෙන ඉන්නවා එයා එනකම්, එයත් එක්ක එක පෝරුවක කසාද බඳින්න… ඔයාට මං අහස තරම් නෙමේ, මේ මුළු විශ්වය තරම්ම ආදරෙයි… ඔයා නැති ලෝකෙක මට සතුට නැහැ…
ආදරණීය නෙත්මි, ඔයාගේ ඒ සුවඳ, උණුහුම, සෙනෙහස මට තාමත් මතකයි… තාමත් මං ඒ දේවල් හිතින් විඳවනවා…
පලි: මම “හිතවත්කම” ලේ දන්දීමේ වැඩසටහන “ආදරෙයි අහස තරම්” තුළින් කරන්න හිතුවෙ නෙත්මි වෙනුවෙන්… එයා වගේ අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් ලේ දෙන්නයි ඒ වැඩසටහන පටන් ගත්තේ… ආදරණීය රසික රසිකාවියනි, ඔබගෙත් මේ වගේ ආදරණීයයන් පිළිකා රෝගයෙන් පෙළෙනවා ඇති, දැනටමත් ඔබව හැරගොස් ඇති… ඒ අය වෙනුවෙන් ඔබත් අදම මේ මහගු සත්කාරයට සම්බන්ධ වන්න… අපි මේ ලේ දන්දීමේ වැඩසටහන සෑම මසකම පවත්වන්න හිතුවා…







