වේල් ගණන් ගින්නෙන් දැවෙන කුස රසවත් අහරකින් පිරවූ සොඳුරු මොහොතක් – Lunch with අම්මලා, තාත්තලා – අම්මලා තාත්තලාගේ ආශිර්වාද (Part 04)

by | Oct 21, 2017 | Project | 0 comments

වේල් ගණන් ගින්නෙන් දැවෙන කුස රසවත් අහරකින් පිරවූ සොඳුරු මොහොතක් – Lunch with අම්මලා, තාත්තලා – අම්මලා තාත්තලාගේ ආශිර්වාද (Part 04)

වේල් තුනක්ම නොවරදවා ගන්න ඔබ අපි ආසාවට හෝ රසවත් කෑම වේලක් නොකා ඉඳලා නැහැ නේද? රසවත් කෑම වේලක් ලැබුනෝතින් එපා කියලත් නැහැ නේද? ඒත් ඔබ හොඳින්ම දන්නවා ඔබ වේලක් කද්දි වේල් තුන හතර නොකා නොබී ඉන්න පවුල් අපේ රටේ ඉන්න බව. අපිට මෙහෙම ලැබුණට බත් ඇටයක් නැති දරුවෝ ඉන්නවා කියලා ඔබත් යම් යම් අවස්ථා වලදි කියලා ඇති. ඒත් නිකමට හෝ සිතුනාද එවන් අයට එක් වරක් හෝ කුස පිරෙන්න කෑමක් දෙන්න. අපි හෝටල් ගානේ ගිහින් ආස කෑම කාලා සතුටක් ලබද්දි හෝටලයක් දිහාවත් නොබලා බිම බලාගෙන කුසගින්න දරාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සුන්ට හෝටලයක් ළඟින් යද්දි කෑම සුවඳක් දැනුනම කොහොම කුසගින්නක් දැනෙනවා ඇතිද? ඒ ගැන සිතන්න පුළුවන්ද ඔබට? නමුත් කිහිපවතාවක්ම අපි ඔවුනට නොලැබෙන ඒ අවස්ථාව උදා කරලා දෙන්න කටයුතු කළා. විවිධ මත තිබුණත් ඒ මොහොතේ ඔවුන් අසළ හිටපු අපි දැකපු ඒ අහිංසක සතුට ඔයාලටත් දකින්න අපි සැලැස්වුවා. වේල් ගණන් වියළී ගියපු කුසකට එක වරම ඉතා ප්‍රනීත අහරක් ලැබෙද්දි දැනෙන සතුට ඔබ අත්විදලා නැතුව ඇති. නමුත් මේ ව්‍යාපෘතිය ඔස්සේ ඔබත් ඒ අයගේ මූණු වලින් ඒ බව දකින්න ඇති.

මේ වැඩසටහන අපි නැවත වතාවක් දිවා ආහාර වේලක් ලෙසින් දෙහිඅත්තකණ්ඩිය සමනළතැන්න ගමේ සිදු කරා. මේ අය බොහෝම දුප්පත් උදවිය. ඒ අසරණකම ඔවුන්ගේ නිවෙස් වලට ගියාම හොඳින්ම තේරුණා. කුසගින්න නිවාගන්න උදේ රෑ වෙහෙසෙනවා මිස මේ අයට වෙන කිසිම ආකාරයකින් සතුටක් ලබන්න විවේකයක් නෑ. එහෙම සතුටු වෙන්න වෙන වෙන දේවල් කරන්න ගියොත් එදාට බඩගින්නේ තමයි ඉන්න වෙන්නෙ. අපිට නම් එහෙම නැහැ නේද? ඉතින් ඔබ කෙතරම් වාසනාවන්තද? නමුත් අපි අපේ කුස බඩගින්න දැනෙන්න නොදී පුරවා ගද්දි කුසගින්නට වතුර බොන මේ අයට හැකි මොහොතක හෝ වරක් හෝ පිහිට වෙන එක කොයිතරම් වටිනවද. ඒ වටිනාකම හොඳින්ම තේරුම් ගත් K K Tani Korale මිතුරිය විසින් මීට මාස 3කට කලින් මිය පරලොව යන්නට යෙදුනාවූ ඇගේ Jeen Nona මිත්තණිය සිහිපත් කොට අසරණ වැඩිහිටි පිරිස් හට රසවත් ආහාර වේලක් ලබා දෙන්නට ඕනෑ බව කියා සිටියා.

ඒ අනුව සමනළතැන්න ගමේ ඉන්න අන්ත අසරණ වැඩිහිටියන් 10 දෙනෙක් එක්ක අපි දිවා ආහාර වේලකට ගියා. මේ දෙමාපියෝ ජීවිතේ කවදාවත්ම හෝටලයකට ගිහින් තිබුණේ නැහැ. ඒ නිසාම නුහුරු බව විශාල ලෙසම දැනුනා ඒ අයට. නමුත් අපි ඔවුනට නිරතුරුවම අසළින් හිඳ සහය වූ නිසා තරමක් දුරට නුහුරු බව පහව ගියා. මේ දෙමාපියන් හෝටලය තුළට ඇතුළු වුනේ දේවාලයකට යනවා වගේ පාවහන් ගලවලා. අපිට ඒක අමුතු දෙයක් උනාට හිතන්න පොඩ්ඩක් ඔවුනට මේක දේවාලයක් වගේ දැනෙනවා ඇති. ඔවුන් කුසගින්නෙන් දැවුන හැටි ඔවුන් දන්නවා. ජීවිතේට හෝටල් වල මිනිස්සු කනවා බොනවා දැක්කට ඇතුළට යන්න වරම් නැහැ කියලා හිතෙන් දුක් වෙන්න ඇති. ඒ රසමසවුළු අපිට උරුම නෑ කියලා හිත හදාගන්න ඇති. එවන් දෙමාපියන්ට මෙහෙම අවස්ථාවක් ලැබුනම ඒකෙ තියෙන අගය වටිනාකම අපිට ඔවුන්ගේ එම ක්‍රියාව තුළින් දැකගන්නට හැකි උනා.

වෙනදා වගේම ඒ අය ආස කෑම අහලා ඒ දේවල් ලබා දුන්නා. අපි වගේ නෙමේ ගම්බද සමහර දෙමාපියන්ගේ ගෙවල් වල කාලා වතුර බොන්න කෝප්ප නෑනේ. ඉතින් මේ දෙමාපියෝ එතනට අත සෝදන්න ගෙනත් තිබ්බ Bowl එකෙන් වතුර බොන්න හැදුවා. ඒ ඔවුන්ගේ නුහුරු බවයි. ප්‍රථම අත්දැකීමේ සළකුණුයි. ඒ බව දකිද්දි මේ දෙමාපියන්ගේ ජීවිත ගැන දුකක් දැනුනා වගේම සතුටක් දැනුනා ඒ ජීවිත වලට සැදෑ සමයේදී හෝ මෙවන් අත්දැකීමක් ලබා දෙන්නට පුළුවන් වීම ගැන. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධීකරණය සිදුකල මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දහවල් දානය පිළිගැන්වීමද අපි සිදුකලා.

මේ සුවිශේෂී පුණ්‍යකර්මය සිදු කරමින් ඔක්තෝම්බර් මස 17 වන දිනට සිහිපත් කෙරෙන සෙනෙහෙබර මිත්තණියගේ වියෝව වෙනුවෙන් ඈට පිං පමුණවමින් මෙසේ අසරණ දෙමපියන් දහදෙනෙකුට රසවත් ආහාර වේලක් ලබා දුන්නා. ආහාර ගත් පසු ඔවුන් ඔබට නොසෑහෙන්න පිං දුන්නා. ඒ පින ඔබට අත්වේවා… එමෙන්ම මිය පරලොව යන්නාට යෙදුනාවූ ඔබේ මිත්තණියටත් මේ පින් ලැබීමෙන් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වීමටත් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමටත් හැකි වේවා…. එමෙන්ම මිත්තණිය වෙනුවෙන් මෙවන් වටිනා කටයුත්තක් සිදු කෙරූ K K Tani Korale මිතුරියටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා… කාය චිත්ත පීඩාවන් නොම වේවා… සතුට සැනසුම උදා වේවා…. කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය ලැබීමටද මේ පින හේතු වේවා….

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments