මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 05 – දහවල් ආහාරය)

by | Dec 7, 2017 | Life, Working | 0 comments

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 05 – දහවල් ආහාරය)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය කරමින් Shalika N Digoarachchi, Buddi Weerakoon, Mandodhari Ramanayake, Isuru Sri Bandara, Danushka Pathirana, Dhanushka Rangana, Lahiru Darshana, Chathura Sanjeewa යන සොයුරු සොයුරියන් එතැනට පැමිණියා.

කණ්ඩායමේ හැමෝගේම සහයෝගයෙන් පූර්ව සූදානම් කටයුතු සියල්ලක්ම ඉතාමත් ඉක්මනින් අවසන් කරන්නට අපට හැකි උනා. පසුව සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ලේ දන් දීමට පැමිණෙන පිරිස් සමාජසත්කාර කණ්ඩායම විසින් ලියාපදිංචි කළ අතර ලේ දුන් පසු සහතික පත් ද ලබා දුන්නා. ලේ ලබා දුන් සෑම අයෙකුටම ආහාර වේලක් ද ලබා දුන්නා. පවුලේ කෙනෙක් මෙන් ඔවුනට සමීප වන්නට තරම් අපගේ කණ්ඩායමේ හැම කෙනෙක්ම බොහෝමත්ම සෙනෙහෙබර උනා.

කිසිදු තිළිණයක් බලාපොරොත්තු නොවී යන එන ගමන් ලේ ටිකක් දීලා යන්න ගොඩවැදුන මේ හිත් හරි සුන්දරයි. ඇතැම් අම්මලා තාත්තලා ලේ දෙන්න ගිය වග දරුවෝ දන්නේ කෝල් කරලා ඉන්නෙ කොහෙද ඇහුවම. මහළු තරුණ වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම වගේ ලේ දෙන්න ආසාවෙන් එතනට ආවා. ලෝබ නැතුව ඇඟ පුරා දුවන ලේ වලින් ටිකක් මෙහෙම දීලා යන්න තරම් ශක්තිමත් හිත් ගොඩක් අපට ඊයේ මුණගැහුණා.

ලේ ලබා දුන් සැමටම මෙන්ම රෝහල් කාර්‍ය මණ්ඩලය වෙනුවෙනුත් රසවත් ආහාර වේලක් අපි ලබා දුන්නා. අපගේ කණ්ඩායමේ සුහදශීලී බව මෙන්ම සෙනෙහෙබර බව නිසාම ලේ දන් දුන් හැම කෙනෙක්ම ආපසු යද්දි ගිහින් එන්නම් කියලා යන්න නම් අමතක කලේ නෑ.

පැයක් වෙනුවෙන් හෝ බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටින ජීවිතය අයදින ඔවුන් වෙනුවෙන් සිදු කෙරෙන මෙම උතුම් කටයුත්ත සඳහා සහයෝගය මෙන්ම දායකත්වය ලබා දුන් ඔබ සැමටම අප බොහෝමත්ම ස්තූතිවන්ත වනවා.

වැඩිදුරටත්…

මිනිස් ජීවිතයක් බේරා ගැනීම සඳහා තම ශරීරයේ කොටසක් දන් දිය හැකි නම් එය අභය දානයකි, ජීවිත දානයකි.

මිනිස් සිරුරේ දත් අත් පා වැනි කොටස් වර්තමානයේ කෘතිමව නිපදවෙනවා. විද්‍යාව කෙතරම් දියුණු වූවත් තවමත් මිනිස් රුධිරය කෘතිමව නිපදවන්නට හැකියාවක් නැහැ. අනෙකුත් සතුන්ගේ රුධිරය ලබාදීමටද හැකියාවකුත් නැහැ. එය තව මනුෂ්‍යයෙකුගෙන්ම ලබා ගත යුතුය. වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලේ දන් දීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම මහරගම පිළිකා රෝහල තුළ මරණය අභියස සිටිමින් ජීවත් වන්නට එක් දිනක් ගැන හෝ බලාපොරොත්තුවෙන් සිටින රෝගින් වෙනුවෙන් ලේ බිඳක් පරිත්‍යාග කිරීමට හැකිනම් එය ඉතාමත් වටිනවා.

රුධිරය අපගේ ශරීරයේ ඉතා වැදගත් කොටසක්. එවැනි දෙයක් පිළිබඳ අප තුළ දැඩි මමත්වයක් පවතිනවා. එවැන්නක් දන් දීම අපහසු කාර්‍යක්. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුයි. මේ නිසා රුධිරය දන් දීම දාන උප පාරමිතා ගණයට එන උදාර කුසලයකි.

මෙසේ යහපත් ආකල්ප වලින් යුතුව ලේ දන්දීම තුළින් නීරෝගී ජීවිතයක් ලැබීම, දීර්ඝායුෂ ලැබීම, ශරීර ශක්තිය ලැබීම, සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම ආදී ආනිසංස බොහෝමයක් ඔබට අත් වනවා.

එවන් වූ උතුම් කටයුත්තක් වන හිතවත්කම 4 වන ලේ දන් දීමේ කඳවුර සාර්ථක ලෙස සිදු කරගැනීමට සහභාගී වූ මිතුරු මිතුරියන් සැමගෙන්ද තල්දූව විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ ඇතුළු දායක පිරිසද නන් අයුරින් ශ්‍රම දායකත්වය දැරූ සියල්ලන්ට ද මේ උතුම් කුසලයේ ආනිසංසය හිමි වනවා. එමෙන්ම අපට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මිත්‍රශීලීව කටයුතු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරූ වෛද්‍යතුමන් ඇතුළු රෝහල් කාර්‍ය මණ්ඩලයටද අප ස්තූතිවන්ත වන අතර මේ උතුම් කුසලයේ ආශිර්වාදය ඔවුනටද හිමි වනවා. එමෙන්ම මෙකී සියළුම කටයුතු ඉතාමත් සාර්ථක ලෙස සිදු කරගැනීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දුන් ෆේස්බුක් මිතුරන් හැම දෙනෙකුටමත් මේ උතුම් කුසලය අත්පත් වනවා.

අසරණ ජිවිත වල හුස්ම පොදක් රැක දෙන්නට සෑම අතින්ම දායක වූ ඔබ සැමටම සමාජසත්කාර අපගේ හද පිරි ගෞරවය පුද කරන්නෙමු.

“හිතවත්කම 4 ” Blood Donation Campaign
6th December – Thalduwa, Avissawella

 

 

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments