මටත් ගෙදරක් තිබුනනම්

by | Dec 8, 2012 | Stories | 0 comments

මටත් ගෙදරක් තිබුනනම්

අද ගොඩක් එළිය දවසක්… මම ගෙදරින් අමාරුවෙන් එළියට ආවේ පරිසරයේ වෙනසත් නිදහසත් භුක්තිවිදින්න හිතන්. අව්ව තදින් පායලා… තණ කොළ පාගගෙන ටික දුරක් ගිය මම නැවතිලා බිම ඉදගත්තේ ගෙදරත් පාරත් එක වර පේන්න ලේසි වෙන්න.
මාව ඉපදිලා මාස තුනෙන් මේ ගෙදරට ගෙනත් තියෙන්නේ. ගෙදර මිනිස්සු ගැන කියන්න තරම් හොදක් නැති වුනත් මම එයාලට ආදරෙයි… මම මගේම දෙමාපියන්, සහෝදරයන්, ළමයි කියලා හිතාගෙනයි එයාලට සැලකුවේ. ඒත් එයාල මාව පිට කෙනෙක් විදියටම සලකන්න අමතක කරන් නැහැ. නිතරම බනිනවා. අතට අහුවෙන ඕනම දේකින් මට ගහන්න කාටවත් අමතකවෙන් නැහැ. ඒත් මට බොන්න වතුර ටිකක්වත් දෙන්නැ. මමම බිව්වොත් හරි එහා ගෙදරට ගිය වෙලාවකට තියන දෙයක් කාල වතුර ටිකක් බීලා එනවා. ගෙදර මිනිස්සුන්ගේ වෙනස්කම් විදින මට අවට මිනිස්සුන්ගේ කරදර එතරම් ලොකු දේවල් නෙමෙයි.
අනේ මගේ අම්ම හිටියා නම්… මාව ආදරෙන් බලා ගනී. මාව ආරක්‍ෂාකර ගනී. කාගෙන්වත් බැනුම් අහන්න ගුටි කන්න වෙන එකක් නැහැ. මම මගේ අම්ම දැකලා නැහැ. එයා ජීවතුන් අතරද නැද්ද කියලාවත් මම දන්නැහැ. එහා ගෙදර පවුලේ මිනිස්සු ආදරෙන් ඉන්න විදිය දැක්කාම මට හිතුනෙම ඇයි මම එහේ ඉපදුනේ නැත්තේ කියලයි.
අයියගේ යාලූවොත් එක්ක ගෙදර එනවා. සෙල්ලම් කරල එනවා. යමින් ගමන් මට අතේ තිබුන බැට් එකෙන් කකුලට ගහගෙන ගියා. ඒ එයාගේ ආදරේ පෙන්නන විදියද කොහේද. යමින් එමින් පයින් හරි ගහන්න එයා අමතක කරන්නැහැ. ඇග පුරාම මගේ තුවාල කැළැල් වලින් ඕනම කෙනෙක්ට පේනවා මම මේ ගෙදර කොයි තරම් නම් දුකක් විදිනවද කියලා. කාට තිබුනත් මට නම් ඔය බෙරිහන් දෙන මානව හිමිකම් නැහැ. සමහරවිට මම වෙනස් නිසා වෙන්න ඇති. කමක් නෑ, මට ඕන නෑ මිනිස්සුනගේ ඔය දේවල් හදාගෙන ඉන්නේ එයාලටම හොද නිසානේ.
මම ඕකව අද රැට ගෙනිහින් දාන්නම්… තාත්තා කෑ ගැහුවා. මට දැනුනේ ඒක මටම කියපු දෙයක් විදියටයි. රැ වුනා. හිතපු විදියටම මාව බෙල්ලෙන් අල්ලන් එළියට ගෙනාව මම හිතුවා හරි, මාව ගෙනියන්න තමයි මේ හදන්නේ. හොදටම ගහපු මට කරුවල පෙට්ටියකට දාලා වාහනේට දා ගන්නවා මට දැනුනා. ගොඩක් දුර ආවා. වාහනෙන්ම මාව එළියට විසි කරල වාහනේ වේගයෙන් ගියා.
අනේ මාව දාල යන්න එපා… මම කෑ ගහගෙන පස්සෙන් ගියා. දුවල දුවල හති වැටෙනකල් මම දිව්වා. ඒත් වාහනේ නතර කලේ නෑ. මට ඇස් දෙකට කදුලූ ආවා. කරුවලයි… මම බයයි කරුවලට. ඒත් එක කියන්නවත් අහන්නවත් කෙනෙක් නැහැ. ගොරවලා විදුලි කොටන්න ගත්තා.
හයියෙන් වහින්නයි හදන්නේ. වැස්සට තෙමුනත් මට බය අකුණු ගහනවටයි. ලොකු ගහක් තියනවා. මම යනවා එතනට. ඒක යට ඉන්න කොට තෙමෙන එකක් නැ. මගේ කකුල තාමත් පණ නැහැ. ගහපු පාරට හොදටම අමාරුයි. අමාරුවෙන් කොර ගගහ මම ගහ යටට ගියා.
වැඩක් නෑ. හොදටම තෙමෙනවා. කමක් නෑ. මට ආයිත් ගහන්න කෙනෙක් නැහැනේ… එතකොට දැන් මම නිදහස්ද? සතුටක් හිතට ආවා… ඒත් බඩගින්න ඉවසන්න බැහැ. ආයිත් මට කෑම කොහෙන්ද ලැබෙන්නේ…
එළිය වැටිලා… වැස්සට රැ පුරාම තෙමිල. හීතලයි ගොඩක්. අව්ව වැටුනාම අව්වට වෙලා ටිකක් ඉන්නවා. එතකොට හරි යයි. මිනිස්සු හැම තැනම ඒත් ගෙයක් නැහැනේ… කව්රුවත් මම දිහා බලන්නේවත් නැහැනේ…
අනේ මම තනි වුනා නේද? දැන් මට කාත්කවුරුවත් නැහැනේ… අනේ මම කොහේද යන්නේ? ඇස් වලට ආපු කදුලූ වලට මට පාර පේන්නේ නැතුව ගියා… මම නැවතුනා හිටපු තැනම… පිටි පස්සෙන් ආපු බයිසිකලේ මාව හප්පගෙන ගියේ ඒක හිටිය කෙනෙක් මට පයිනුත් ගහගෙනයි. මිනිස්සු මෙතරම් නපුරු ඇයි? ඊයේ රැ හිටිය ගහ ලගටම යනවා. දැන් ඉතිං මගේ ගෙදර එතන…
ඔයාලගේ දරුවෙක්ට මෙහෙම වෙනස්කම් කරල පාරට දැම්මාම ඒ දරුවත් හිතන්නේ මම වගේ. විදින්නේ මම විදින දුක් කරදරමයි. ඒත් මගේ වෙනස මම “බල්ලෙක්” වුන එකයි. කවුරුවත් මම ගැන හිතන් නෑ. හොයල බලන් නෑ. මටත් ගෙදරක්, අංගසම්පූර්ණ පවුලක් ඕන. ඒක හැමදාමත් හීනයක් වෙයි… මම වගේම තව ගොඩක් අය ඒ හීනය දකිනවා ඇති… ඔව් හැමෝම ආදරේ හොයනවා. ඒක නිසා නොලැබෙන දේ ගැන හිතමින් සිහින දකිනවා ඇති. මම වගේ…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments