මගේ ජීවිතය ගෙවන ආකාරය ගැන කිසිම අයෙකු ප්‍රශ්නයක් කර නොගන්න

by | Sep 12, 2018 | Gossip, Life | 0 comments

මගේ ජීවිතය ගෙවන ආකාරය ගැන කිසිම අයෙකු ප්‍රශ්නයක් කර නොගන්න

මේ පෝස්ට් එක ලියන්න හිතුවේ පසුගිය දිනක ලැබුණු චැට් කිහිපයක් නිසා. “දැන් සමාජසත්කාර නවත්වලා සල්ලි පස්සේ යනවා නේද, මහ ලොකුවට හැමදාම සමාජසත්කාර කරනවා කීවට දැන් බිස්නස් කරනව නේද, ඇයි දැන් සමාජසත්කාර නවත්තලද ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ” ආදී වශයෙන් මැසේජ් ගොඩක් ආවා.

ඔය වගේ ප්‍රශ්න අහන, හිතන නෝනල මහත්වරුන්ට මං මේ කියන්නේ, ඔයාල මට කන්න, අඳින්න දෙන්නේ නෑනේ. ඒවා මං හොයාගන්න ඕන. ඔයාලා කවදාවත් මං මේ කරන විදිහට ජීවිතයම අසරණ අයට පිහිට වෙවී ඉඳිවිද? නෑනේ. එක්කෝ ජීවිත කාලෙම කාට හරි, මොකක් හරි තමන්ව හූරගෙන වැඩගන්න ආයතනයක රස්සාවකට යාවි, 8-5 වැඩ කරාවී. නැහීගෙන බිස්නස් කර කර බැංකු පොත් පුරෝගනීවී. සල්ලි මිටි බැඳ බැඳ තව සල්ලි හොයන විදි ගැන හීන දකීවි. සාම්ප්‍රදායික ජීවිතයක් ගෙවාවි.

නමුත් මට ඔහොම ජීවිතයක් ඕන නෑ. මං ආස නිදහසේ සැහැල්ලුවෙන් බැඳීම් වලින් තොරව මට හැකි හැමවිටම අසරණ අයට උදව් කරමින්, වර්ණ ගලපමින් දවස ගත කරන්න සහ තාක්ෂණික නිර්මාණ කරමින් ඒ නිර්මාණ සමගින් ජීවිතය ගත කරන්න. පසුගිය අවුරුදු 32ම මම ජීවත් වුනේ එහෙම. All I need is a Colorful Smart Life. ඉතිං මං ජීවිතය ගත කරන විදිහ ගැන කවුරුවත් හොයන්න අවශ්‍ය නැහැ. ඔයාලා කන්න බොන්න දෙනවනම් හොයලා බලන්න. සමාජසත්කාර ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන අයට පුලුවන් ඕනෑම අවස්ථාවක ඒ දේවල් කතා කරන්න මිතුරෙක් විදිහට. හැබැයි මේ කොහෙවත් නැති, ඕපපාතික, අම්මගෙන් තාත්තගෙන් ආපු නමක් නැති, ලෝකයාට මූණ දෙන්න බයෙන් කී බෝඩ් වීරයෝ විදිහට බොරු මූණු දාගෙන ඉන්න අයට එහෙම කරන්න අයිතියක් නැහැ.

අනික සමාජසත්කාර කරනකොට කියනවා මං ඒ සල්ලි වලින් ජීවත් වෙනවා කියලා, නොකරනකොට කියනවා බිස්නස් කර කර සල්ලි පස්සේ යනවා කියලා. මගේ ප්‍රශ්න මං විසඳගන්නම්. ඔයාලා කලබල වෙන්න එපා. ඔතන වැඩි හරියක් තියෙන්නේ ඊර්ෂ්‍යාව. නොහැකියාව. ඒක නිසා කෙනෙක් ඉස්සරහට එනවට අකමැතියි. මම රැකියාවක් කලා 2006 ඉඳන් 2018 වෙනකම්, හැබැයි රැකියාවෙන් ඉවත්වුණා රැකියාවට වඩා මට සමාජසත්කාර සහ පවුලේ අය වටින නිසා සහ කිසිම කෙනෙක් යටතේ මම වැඩකරන්න අකමැති නිසා. මම නියෝග වලට වැඩ කරන්නේ නැහැ. මම ගන්නේ නිදහස් තනි තීරණ. මට සල්ලි පොදි ගහන්න ඕන නෑ. ලස්සන පාට පාට ෂර්ට් ටිකකුයි, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිල් එක ගෙවාගන්නයි සල්ලි තිබ්බහම මට ඇති. අනික මට පෞද්ගලික මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාණ ආයතනයක් තියේ. 2009 මම ඒක ආරම්භ කලේ. මං එහි නිෂ්පාදන අලෙවි කරන්නේ ඉතාමත් ඉහල මිළගනන් වලට. මගේ නිෂ්පාදනය මිළදී ගත්ත අය ඒක දන්නවා. මාසෙට එක බිස්නස් එකක් කලත් ඇති මට ජීවත් වෙන්න. මම කරන්නේ එක දවසක් හෝ දෙකක් මහන්සි වෙලා බිස්නස් කිහිපයක් කරලා මාසෙට වියදමට අවශ්‍ය මුදල් සොයාගෙන ඉතිරි දවස් ටික අසරණ අයට පිහිට වෙන්න රට පුරා සංචාරය කරන එක. AC Office වල මම සැප ගන්නේ නෑ. ගිනි අව්වේ, බඩගින්නේ මාසෙට දවස් 25කට වඩා මං ගත කරනවා. පඩියට, මුදලට නෙමේ හිතට දැනෙන සතුට වෙනුවෙන්.

හැමෝම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියනකොට මම කකුල පණ නැති වෙනකම් රට පුරා ඇවිද්ද. පිටට ෆොටෝ වලට පේන්න ලස්සනට හිටියට ගෙදරට ඇවිත් බලන්න මම කොච්චර වේදනාවෙන්ද දවස ගෙවන්නේ කියලා. ෆොටෝ එක ලස්සන වෙන්න ඕන නිසා මම හිනාවෙනවා මිසක් මං අසනීප වෙලා විඳින දුක දන්නේ මම. විශ්වාස නැතිනම් ගෙදර ඇවිත් බලන්න. ගෙදර ඉන්න ටිකේ වැඩි හරියක් කලේ තවත් සමාජසත්කාර කරන මිනිස්සු වෙනුවෙන් මගේ දැනුමෙන්, මම ඉගෙන ගත් දෙයින් උදව් කල එක. මම රුපියල් ලක්ෂ ගණනක් වෙන අයගෙන් අයකරන නිර්මාණ ගොඩක් මම නොමිළයේ කරලා දුන්නේ. ඒ අතර එකක් දෙකක් ව්‍යාපාර විදිහට කලේ ජීවත්වෙන්නත් මුදල් ඕන නිසා. ඔයාල මට කන්න, බොන්න දෙනවනම් මම හැමදාම සමාජසත්කාර වලට යන්නම්. මොකද සමාජසත්කාර කරන්න මට රජයෙන් සල්ලි දෙන්නේ නැහැ.

අනික මගේ ජීවිතය ගැනනම් කවුරුත්වත් වද වෙන්න ඕනම නෑ. හැදුනේ හුරතලේට. වයස 32ක් වුනත් 50ක් වුනත් ඒක එහෙම්මම තියේවි. 2009 ඉඳන් 2018 වෙනකම් මගේ ෆේස්බුක් එක බලන්න, වෙනසක් වෙලා නෑ මගේ. වෙනස් වෙලා තියෙන්නේ ඔය කතා කියන අයගේ බලාපොරොත්තු, සිතුම් පැතුම්. මම කවදත් කරන කියන දේ ෆේස්බුක් එකේ දාලා විවෘතව කතා කරලා වැඩ කරන කෙනෙක්. සමහර මං ලඟ ඉඳලා යන අය හැසිරෙන්නේ ඒ අය නිකන් කෝමා එකක මං ලඟ හිටිය කාලේ හිටියා වගේ. මට හැමදාම වරදින්නෙත් මිනිස්සු විස්වාස කරලා මගේ හැමදේම කියන්න ගිහින්. මම ජීවිතේ ගත කරන්නේ මං ආස විදිහට, ඔයාලා ඔයාලා ආස විදිහට ඉන්න. මගේ ක්‍රමේ ඔයාලට හරියන්නේ නැත්නම් ඔයාලා යන්න, ඉන්න පුලුවන් අය ඉන්න. යන අය ගියත්, ඉන්න අය හිටියත් මං පුරුදු මම කැමති විදිහට ජීවිතේ ගෙවනවා. මං කලින් දවසකත් කීවේ මං ගැන හොයන වෙලාවේ තමන්ගේ පවුලේ අය, ගෑනි, මිනිහා ගැන හෙව්වනම් අඩු ගානේ තමන්ගේ පවුලවත් රැකගන්න පුලුවන්.

මං ෆේස්බුක් දාන්නේ මොනවද, නොදාන්නේ මොනවද කියලා මං තීරණය කරන්නම්, මං කන්නේ මොනවද, බොන්නේ මොනවද, යන්නේ කොහෙද, ආශ්‍රය කරන්නේ කවුද ඒ හැම දේම මගේ තනි තීරණයට මං කරන්නේ. ඒවා අපේ ගෙදර අයට ප්‍රශ්නයක් නොවේනම් ඔයාලා කොහොමටවත් කලබල වෙන්න එපා…

ඔයාලා වගේ තමන්ගේ වැරදී 1000ක් තියාගෙන අනුන්ගේ වැරදි හොය හොයා මං කාලේ නාස්ති කරන්නේ නෑ. මං ප්‍රශ්නයක් වුණහම දවසෙන් දෙකෙන් ඒක අමතක කරලා ආපහු මගේ සුපුරුදු වැඩ කරනවා. අසනීප වුනත් මං ගෙදරට වෙලා හැකි හැම විදිහකින්ම සමාජසත්කාර කරනවා. මොකද මට කාලය කියන දේ වටිනවා ගොඩක්.

ඉතිං යාලුවනේ දැන්නම් ලියලා මහන්සියි. සීතල වතුර වීදුරුවක් වත් බොන්න ඕන. වැල්වටාරම් ඕන නෑ කෙටියෙන් කීවොත් ” මං මගේ ජීවිතේ ගෙවන්නම්, මං ආස විදිහට, ඔයාලා ඔයාලා ආස විදිහට ඉන්න. අදාල නෑනේ ඔයාලට මගේ ජීවිතේ ”

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments