නෝනා / නෑනා සහ තිරයේ පිටුපස සිට නිහඬව මා බලාගන්නා ලොකු අයියා

by | May 22, 2018 | Life | 0 comments

නෝනා / නෑනා සහ තිරයේ පිටුපස සිට නිහඬව මා බලාගන්නා ලොකු අයියා

අපේ ලොකු අයියා බැඳලා දැන් අවුරුදු 2 1/2ක් විතර ඇති. ගිය සතියේ බබෙක් හම්බවුණා. අයියයි, නෑනයි අවුරුදු 2 1/2ක් තිස්සේ ඉන්නේ අපේ ගෙදර, මට එහා පැත්තේ කාමරේ වුණාට මම එයාව දැකලා තියෙන්නේ 20-30 පාරක් විතර. මොකද මම ගෙදර ඉන්න මනුස්සයෙක්වත්, ගෙදර ඉන්නා විට කාමරයෙන් එලියට බහින මනුස්සයෙක්වත් නෙවේ. එයාගේ නම මම දැනගත්තේද දවසක් එයා වැඩ කරන තැනට අල්ලපු කඩේට බඩුවක් ගන්න ගිය වෙලාවක ඇය ගැන පවසා ඩිස්කවුන්ට් එකක් ගන්න ගොස් මම ඒ කඩේ ඉන්න කෙනෙක්ට කීවා මගේ නංගි එහා කඩේ කියලා. නම නොදන්න නිසා අර බබෙක් හම්බවෙන්න ඉන්න එක්කෙනා කීවා. එතකොට ඒ කඩේ කෙනා තමයි මට අයියගේ නෝනගේ නම කීවේ.

වචන සීයයකට, දෙයීයකට වඩා කතා කර නැතිව ඇති. කතා කලද ඔව් නෑ පමණි. ඇය නිශ්ශබ්ද චරිතයකි. ගෙදර ඉන්නවාද කියා සොයාගත නොහැක. කනට ඇහෙන්න කතා කරන්නේද නැත. අයියා ඇයට බනින විට මා අයියාට රවයි. මන්ද අයියා වසවර්තියාය. ඌ බය මට පමණි.

බබා හම්බවෙන්න ඉන්නකොට මං ගෙදර එනකොට පාරෙදි හම්බවෙන එක එක ඇඹුල් ජාති ඇයට රැගෙන එන එක පුරුද්දක් කරගෙන හිටියා. ලස්සන ඇඳුමක් දැක්කහම අරගෙන එනවා. හිනා යන කාරණය අයියා තෝරන ඇඳුම් වලට වඩා ඇය මා තෝරන ඇඳුම් වලට කැමතිය.

රෝහලේ බබා හම්බවෙලා ඉන්නකොට එයාට උණ ගැනිලා තිබ්බා. පැයක් ලඟට වෙලා මා ඇයට පවන් ගසන විට ඇය සමඟ මගේ කතා බහක් නොමැති වුනත් ඇයට මගේ හිතේ ආදරේ තිබෙන වග මට තේරුණා.

ඉතිං මං අද තනියම ආවා එයාවයි, බබාවයි බලන්න. අද තමයි ඉස්සරවෙලාම එයාලගෙ ගෙදර ආවේ. අවුරුදු 2 1/2ක් ගණන් නොගෙන හිටියද ඇය ගොස් දින 3කින් ඇය නැති අඩුව දැනුනේ වෙනදාට ලැබෙන කිරි එක, බීම එක නොලැබුණ නිසාය, වෙනදාට ලැබෙන කෑම එක නොලැබුන නිසාය, ගෙදර, මිදුල හැම තැනම හැඩි වී තිබුණ නිසාය. මන්ද මෙපමණ කලක් ගේ මිදුල අතුගා ඇත්තේද ඇයයි. බලාගෙන ගියහම නිවසේ වැඩකටයුතු වලින් වැඩි වැඩකොටසක් රැකියාවත් කරන අතරතුර, දරුවෙක් ලැබෙන්න අතරතුරද කර ඇත්තේ ඇයයි. පාන්දර 4ට අවදි වී ගේ මිදුල අතුගා කෑම සාදා උදේ 7ට රැකියාව බලා පිටත් වී රෑ 7ට නැවත පැමිණ වැඩ කරයි. නිවාඩු තියෙන්නේද සතියට ඉරිදා පමණි. මා බඩගිනී කීවද කන්න බොන්න මොනවා හෝ ගෙනත් දේ.

ඇය බබා ලැබෙන්නට රෝහල් ගත කලේ 10 වෙනිදාය. 9වෙනිදා උදේ 6ටද ඇය මිදුල අතුගානවා මගේ කාමරයේ ජනේලයෙන් දුටුවෙමි. ඇයට කළගුණ සැලකීමක් ලෙස මම ජීවිතයේ පළමු වතාවට කෙනෙක් වෙනුවෙන්, ඇය වෙනුවෙන් දින 7ක නිවාඩුවක් ගත්තා.

ඇය නැවත එන්නේ තව මාස කිහිපයකින් දරුවා හුරුවූ පසුය. ඒ ආවත් ඇය අයියා සමඟ අලුත් නිවසකට යාවි. ගෙදර සියලුම වගකීම් ගෙන කටයුතු කරන්නේ අයියාය. තවමත් මට ගෙදරදී බත් කවන්නේ ලොකු අයියාය. නෑව පසු ඔලුව පිහදාන්නේ අයියාය. අයියේ කී පසු ලඟට දුවගෙන එයි. ඇයි කියා අසා ඉල්ලන ඕනම දෙයක් ක්ෂණික ගෙනත් දෙයි. ලොකුවට සල්ලි නැතිවුනත් හැම උපන්දිනේකටම මට මොනවා හෝ තැග්ගක් ගෙනත් දෙයි. අප්පුච්චා තරම් මාව හුරතල් නොකලද මට කිසිම වගකීමක් ගන්න නොදී නිවසේ සියලුම කටයුතු බලාකියාගන්නේ ලොකු අයියාය. සතියකට මාගේ රෙදි 100ක් පමණ අතින් සෝදයි. උදේ 4ට නැගිට නෝනා සමඟ ගේ මිදුල අතුගා, කෑම උයා 7ට නෝනාවද, 7.15ට අක්කාවද ඔෆිස් එකට ගිහින් දමා ඔහුද ඔෆිස් ගොස් සෙනසුරාදාද වැඩ කර ගෙදර එන්නේ හැමදාම සවස 7ට නෝනා සහ අක්කාවත් වැඩපලින් රැගෙනය. ඔහුත් සමඟ ඡායාරූප මා නොගන්නේ ඔහුට ඡායාරූපයක් ගන්නට තරම්වත් වෙලාවක් නොමැති නිසාය. ඉල්ලන ඉල්ලන රස කෑම ඕනෑ වෙලාවක සාදා දෙයි. මේ ලඟදී දවසක රෑ 12ට බඩගිනි යැයි පැවසූ විට කේක් එකක්දා සාදා දුන්නා.

සමාජසත්කාර ආරම්භයේදී (2006 නැණසල Future Center) ඔහු මා මට උදව් කිරීමට ඔහුගේ රැකියාවෙන් පවා ඉවත්විය. ඔහු දිගටම ඒ කරගෙන ආ රැකියාවේ හිටියානම් මේ වන විට ඔහුගේ පඩිය ලක්ෂ 1 1/2ක් පමණ වේවි. මා 2009 රැකියාවකට යන විට ඔහුද නැවත රු.12,000ක පමණ පොඩි පඩියකට රැකියාවකට ගියේ ඉන්පසු මා ගෙදර නොමැති නිසාය. 2009 තාත්තා නැතිවූ පසු අද වෙන තෙක් නිවසේ සියලුම කටයුතු සිදු කරන්නේ ඔහුගේ මූලිකත්වයෙනි. මාගේ විවාහයේ සියලුම කටයුතු සොයා බලා ඉටුකලේ ඔහුය. පෝරුවේදි මා තාත්තා වෙනුවට වැන්දේද අයියාටය.

තව ටික දොහකින් දෙදෙනාම ගෙදරින් ගිය විට වැඩිපුරම පාඩු වන්නේ මටය…. ගෙදර සියලුම වගකීම් මා පිට පැටවේවි. මා මෙලෙස නිදහසේ සමාජසත්කාර කරන්නේ අයියා මාගේ සියලුම වගකීම් ඉටු කරන බැවිනි. තවමත් මා ගෙදර ලයිට් ස්විච් තිබෙන තැන හෝ වත්තේ මායිමවත් නොදනී. අයියයි නෑනයි ගිය විට ජීවිතය ගත කරන විදිහ අලුතෙන් හිතන්නට සිදුවේවි. මා කිසි දිනක දරුවෙක් හදන්නට බලාපොරොත්තු නොවන්නේද සමාජසත්කාර වල වගකීම වසන් හුස්ම තෙක්ම පැවරී ඇත්තේද, එය හදවතින්ම ඉටු කල හැක්කේද මට පමණක් වන නිසාය.

අද මා යම් තත්වයක ඉන්නවාද තාත්තාට සමානව ඒ වගකීම් සියල්ල ඉටුකලේ ලොකු අයියාය. මේ පෝස්ට් එක මෙලෙස ලියුවේ දෙදෙනාම මාහට කොපමණ වටිනවාද යන්න පැවසීමටය….

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments