ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා මට වෙච්ච දෙයක් කියන්න. පරණ දෙයක් නම් නෙමේ. අද උදේ වුන දෙයක්…
මං ඔෆිස් එන්න කියලා උදේ බෝඩිමේ ඉඳන් එනකොට ආනන්දෙ ලගින් පාර පනින්න තියෙන කහ ඉර ලගට වෙලා මං හිටියා… ලයිට් එක රතු පත්තු වෙලා තිබ්බේ. එහා පැත්තේ ඉඳන් දෙතුන් දෙනෙක් පාර පැනලා ආවත් ලයිට් එක කොල පත්තු වෙනකම් මං හිටියා. එතකොටම නංගි කෙනෙකුත් ආවා පාර පනින්න. දැන් මං මේ නංගිට හිත ගිය එක ගැන නම් නෙමෙයි කියන්න යන්නේ. එයත් බලාගෙන ඉන්නවා මං පාර පනිනකම්. දැන් විනාඩි 2ක් විතර ගියා. තාමත් රතු. 6 වසරේ විතර වෙන්න ඇති පොඩි මල්ලිලා ටිකකුත් ඇවිත් පාර පැනලා ගියා වාහන එන අතරේ. මං පැන්නේ නැහැ. අර නංගිත් මං පනිනකම්ම ඉන්නවා. පරක්කු වෙන නිසා මාත් අර මල්ලිලත් එක්කම පාර පැන්නා. එතකොට අර නංගිත් පාර පැන්නා මාත් එක්කම…
ඇත්තටම සිද්ධිය මේකයි… පුංචි කාලේ ඉඳන්ම තාත්තා තමයි මාව පාර පැන්නුවේ. උසස් පෙළ පංති යනකොටත් අවුරුදු දෙකම තාත්තා ආවා. උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් කුරුණෑගල ක්ලාස් එක ලගට වෙලා ඉන්නවා. කොළඹ ආවත් එහෙම්මමයි… මුලින්ම 2009 කොළඹ ජොබ් එකකට ආවට පස්සෙත් තාත්තා ආවා… එයයි පාර පැන්නුවේ… ඒත් කොළඹ ඇවිත් මාස 4ට පස්සේ තාත්තා නැති වුනා. එදා ඉඳන් හරි අමාරුවෙන් මං පාර පනින්නේ… ගොඩාක් වෙලා ඉන්නවා කහ ඉර ලග වුනත්… ඒක පුරුද්දකට ගිහින්…
අනේ අද මගේ තාත්තා හිටියනම්…
සත්‍ය සිදුවීමකි
~ධනේෂ් මධුරංග – නිර්මාතෘ ආදරෙයි අහස තරම්~







