ඔයා නැතුව හුඟක් පාළුයි රත්තරන්

by | Mar 5, 2013 | Stories | 0 comments

ඔයා නැතුව හුඟක් පාළුයි රත්තරන්

“මගෙ පුතේ,වෙලාව හරි නේද රත්තරන්,දැන් නැගිටලා මූණ කට හෝදගත්තනම්”….උදේන්ම ඇහෙන අම්මගෙ ඒ වචන ටික මට හොඳටෝම හුරුයි.අම්මගෙ කටහඬින් ඇහෙන ඒ වචන ටික නැත්නම් කවදාවත්ම ඉර පායන්නෙ නැති වෙයි,ඒ වගේම මට උදේ පාන්දර නැගිටින්න බැරි වෙයි කියලා මට හිතුණු වාර අනන්තයි.ඒ තරමටම මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක්.ඔයාලට ඒ ගැන හිතාගන්න පුලුවන්නෙ.ඉතින් උදේ නැගිට්ට ගමන් අම්මගේ රත්තරන් මුහුණට පස්සෙ මගෙ හිතට එන්නෙ මම අම්මට පස්සෙ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන ඒ ලස්සන සුදුම සුදු මුහුණ.ඒ මුහුණට මං කොයිතරම් නම් ආදරෙයිද?ඒ ආදරණීය මුහුණ දවසකට කොයිතරම් වාර ගණනක් මතකයට එනවද කියල මටවත් ගණන් කරන්න බැරි තරම්.හැබැයි එහෙම මතකෙට එන හැම වාරයකම මට මාවත් අමතක වෙන එකනම් ඇත්ත…..

අදත් මම බස් එකෙන් බැහලා හති දාගෙන ගල් බැම්ම දිගේ දිව්වෙ හිනා වෙවි.දකින අයට නම් හිතෙනවා ඇති මම ඔලිම්පික් වලට දුවන්න පුරුදු වෙනවා කියලා.ඒත් මට වටේ පිටේ ඉන්න කිසිම කෙනෙක් ගැනවත්,වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැනවත් කිසිම ගාණක් නැහැ.මම එක පිම්මට දුවගෙන අවේ අපි දෙන්න වෙනදට මුණගැහිලා කථා කර කර ඉන්න ඒ සිමෙන්ති බංකුව ගාවට.ඔයා මාව දැකල බොරු තරහක් මූණට මවාගෙන අහක බලාගත්තා.මම ඇවිල්ලා සද්ද නැතුව ඔයා ගාවින් ඉදගත්තා.ඔයා බංකුවෙ ටිකක් එහාට ගියා.මම තව ටිකක් ඔයාට ළං වුණා.ඔයා තව ටිකක් එහාට ගියා.ආයෙත් මම ඔයාට ටිකක් ළං වුණා.ඔයා ආයෙත් තව ටිකක් එහාට ගියා.මට තනියම හිනා.එත් ඔයාගෙ මූණෙ අර මවා ගත්ත තරහා පාට තාමත් එහෙන්මමයි.අන්තිමට ඔයාට තව එහාට යන්න බැරි තරමටම ඔයා බංකුවෙ අයිනටම ගිහින් තිබ්බා.ඒක දැකපු මම තව ටිකක් ඔයාට ළං වුණා.තව එහාට යන්න බැරි නිසා ඔයා මට ඔරවලා බංකුවෙන් නැගිට්ටා.ඒත් එක්කම මම ඔයාගෙ අතින් ඇදලා මගේ ගාවින් ඉන්දගත්තා.බොරුවට මගෙන් මිදෙන්න වගේ ඔයා උත්සහ කළත් මම ඔයාව තදින් අල්ලගෙනම හිටියා.මගෙන් මිදෙන්න වගේ දැගලුවට ඔයාට මගෙන් මිදෙන්න කිසිම උවමනාවක් නැහැ කියලා මං දන්නවා.ඒකයි මම තවත් තද කරල ඔයාව මගේ පපුවට තුරුල් කරගත්තේ.ඒත් ඔයා අමනාපයෙන් වගේ අනිත් පැත්ත බලාගෙන හිටියා.මට තනියම හිනා.වරක් හැරිලා මගේ දිගා බලපුවහම මම හිනා වෙනවා දැකලා ඔය ආයෙත් අහක බලාගත්තා.ඔයාටත් ලාවට හිනාවක් යන හැටි මං දැක්කා.මම ඔයාගේ මූණ මගේ පැත්තට හරවගන්න උත්සහ කළත් ඔයා හරිම අකීකරුයි.අයෙත් අනිත් පැතතට හැරුණා.මම තද කරල බලෙන්ම ඔයාගේ මූණ මගේ පැත්තට හරවගත්ත ගමන්ම මගේ තොල් වලින් ඔයාගෙ තොල් දෙක ග්‍රහණය කරගත්තා.ඔය මගෙන් මිදෙන්න පුදුම උත්සහයක් ගත්තා.ඒත මම තවත් හයියෙන් ඔයාව මගේ ඇඟට තද කරගෙන මම කර කර හිටපු වැඩේ දිගටම කරගෙන ගියා.මුලින්ම ලොකු වෙලා හයියෙන් හයියෙන් ඇහිපිල්ලම් ගහපු ඒ දුඹුරු පාට ඇස් දෙක ටික ටික පුංචි වෙලා යාන්තමට පියවෙනවා මං දැක්කා.ඒත් එක්කම මගේ ඇස් දෙකත් යාන්තමට පිය වුණා.දෙන්නා ඒ විදිහට කොච්චර වෙලාවක් හිටියද කියලා අපි දෙන්නටම හිතා ගන්න බැරි වුණා.එහෙම වෙච්ච පළවෙනි වතාව ඒක නෙමේ වුණත්,ඒ වගේ මොහොතවල් හුඟක් අපේ ජීවිත වල තිබ්බත් ඒ හැමවතාවක් වගේම මේ මොහොතෙත් මට හිතුණෙ ඒ අපි හමුවෙච්ච පළවෙනි වතාව කියලා.ඒ තරම්ම ඒ මොහොත සුන්දරයි.

එක පාරටම මොකක්දෝ මතක් වෙලා වගේ මගෙන් මූණ ඉවතට ගත්ත ඔයා”මම තරහයිනෙ ඔයත් එක්ක.ඉතින් තරහා අයට මම මේවා දෙන්න නැහැ” කියලා ආයෙත් අහක බලාගත්තා.මම හෙමින් නැගිටලා ඇවිත් බංකුව ගාව දණ නමාගෙන ඔයාගෙ අතින් අල්ලගෙන ඔයාගෙ මූණ දිහා බලල අහිංසක විදිහට හිනා වුණා.”ඔය කපටි හිනාවට මං අද අහුවෙන්නෙ නැහැ”.නෝක්කාඩු ස්වරයෙන් ඔයා එහෙම කිව්වට ඔයා එහෙම කියපු පළවෙනි වතාව ඒක නෙමේ කියල ඔයත් දන්නවා.මාත් දන්නවා.ඒත් එක්කම මේ කපටි අහිංසක හිනාවට ඔයාගෙ හිත හැමදාම මෙල්ල වෙනවා කියලත් ඔයා හොඳටම දන්නවා.ඒත් රත්තරන්…මගෙ හිනාව අහිංසක වුණාට කපටි නම් නැහැ.එහෙම කපටියි කියල හිතෙනවනම් ඒ කපටි හිනාව දාන්නෙත් ඔයාව යාළු කරගන්න විතරයි.”ඔයා හැමදාම මෙහෙමයි.වෙලාවට වැඩක් කරන්නෙම නැහැ.මුණගැහිච්ච පළවෙනි දවසෙ ඉදලම එහෙමයි.ඔයා නම් හදන්න පුළුවන් කොල්ලෙක් නෙමේ.දගකම නම් තියෙනවා ඉහටත් උඩින්.වයසටත් වැඩියෙන්.හැබැයි වෙලාවට වැඩක් නම් කරන්නෙ නැහැ”ඔයා ගිරවියක් වගේ එක හුස්මට එහෙම කියාගෙන කියාගෙන යද්දි මම ආසාවෙන් ඔයාගෙ මූණ දිහා බලාගෙන ඔයා කියන විදිහටම ඇද කර කර ඔයා කියන එකම කියෙව්වා.හැමදාම ඔය බැණුම මම අහනවනෙ.ඉතින් ඒ කියන වචන ටික මට වතුර වගේ කට පාඩම්.ඔයා ආයෙත් තරහා මූණක් මවාගෙන මගෙ ඔලුවට යාන්තමට ටොක්කකුත් ඇනලා,මගේ කම්මුල් දෙක තදින් මිරිකන ගමන් හිනාවෙවී “මේ මෝඩ කොල්ලට මම මොකට කැමති වුණාද මංදා,මේ නැහැදිච්ච කොල්ලට මම මොකට මෙච්චර මැරෙනවද මට තෙරෙන්නෙ නෑ”කියද්දි සත්තයි,මට ඔයා ගැන දැනෙන ආදරේ කියාගන්න බැරි තරම්.”මං වගේ කොල්ලෙක් ඉතින් ඔයාට ලෝකෙ පීරුවත් හොයාගන්න බැහැ.ඔයා දන්නවද ඔෆිස් එකේ කෙල්ලො මට කොයිතරම් ට්‍රයිද කියලා.ඔයාට ලැබිලා තියෙන්නෙ දියමන්තියක් වගේ කොල්ලෙක් හරිද නංගී.ඒ හින්ද ඒ දියමන්තිය පරිස්සම් කරගන්න.නැත්නම් වෙන කෙල්ලෙක් හොරෙන් ඇවිත් එ දියමන්තිය හොරෙන්ම අරගෙන යයි”.එහෙම කියලා මම හිනා වෙනකොට ඔයාටත් හිනාව නවත්තගන්න බැරි වුණා.හිනාවෙන ගමන්ම “අප්පෝ.වැඩේමයි.ඉතින් ඔච්චර ඔය මැරෙන්න හදන ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තිබ්බනේ.ඇයි මට කැමති වුණේ”නෝක්කාඩු ස්වරයෙන් ඔයා එහෙම ඇහුවා.එහෙම ඇහුවට ඔයා මාව කාටවත් දෙන්න කැමති නැහැ කියල මං දන්නවා.”මොනා කරන්නද?මගේ අභාගෙ තමයි ඉතින්”කියල මම හිනා වෙද්දි,”ආ ඇත්තද,එහෙනම් ගිහින් වාසනාවන්ත චූඩාමානික්ය්‍යක් හොයාගන්න එකනෙ ඇත්තෙ.මට මොකෝ”කියල කියද්දි මට ඔයාව තව පොඩ්ඩක් තරහා ගස්සන්න හිතුණා.ඈත්තමයි.ඔයා මාත් එක්ක රණ්ඩු කරනකොට පුංචි බබෙක් වගේ.”මොනා කරන්නද ඉතින්,චූඩාමානික්ය්‍යක් ලැබෙන්න ඉස්සෙල්ලා උරචක්කරමාලාවක් බෙල්ලට වැටුණනේ”කියලා මං හිනා වෙවී ඔයා දිහා බැලුවා.ඒ සුදු මූණ රතු වෙලා,ඇස් දෙකේ ලොකු කඳුළු බින්දු දෙකක් බොඳවෙලා තිබුණා.මට දුක හිතුණා.කරපු විහිළුව ඔයාට තදින්ම දැනිලා කියලා එතකොටයි තේරුණේ.”අනේ සොරි පැටියෝ.මං විහිළුවක්නෙ කළේ.ඔයා ඇරෙන්න බෝනික්කෙක් වගේ ලස්සනම ලස්සන,හොඳම හොඳ කෙළි පැටික්කියෙක් මට කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි.මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලා මම.ඒ ඔයා වගේ කෙල්ලෙක් මට ඉන්න නිසා”.මං එහෙම කියද්දි ආයෙත් අර රතු වෙච්ච මූණට හඳ පෑයුවා වගේ එළිය වුණා.අනේ…ඔයාගෙ මූණ වගේම ඔය හිතත් කොයි තරම්නම් අහිංසකද….

ආයෙත් මොකක්දෝ හදිස්සියෙන් මතක වෙලා වගේ ඔයා ඔයාගෙ හෑන්ඩ් බෑගයට අතදාලා මොනාද හොයන ගමන්”මේ නෝටි කොල්ලගෙ නෝටි වැඩ හින්දා මට ඒකත් අමතක වුණා”කිව්වා.ඒත් එක්කම හෑන්ඩ් බෑග් එකෙන් එළියට ගත්තු නිල් පාට ලස්සන කොළයකින් ඔතලා නිල් පාට රිබන් එකකින් ගැටගහලා තිබ්බ පොඩි පෙට්ටියක් මගේ අත උඩින් තිබ්බා.මම මේ මොකක්ද කියලා අහන්න වගේ බැල්මකින් ඔයා දිහා බලද්දි “ඕපන් කරල බලන්න” කියලා ඔයා කිව්වා.මම ලස්සනට ඔතලා තිබ්බ ඒ පෙට්ටිය හෙමින් හෙමින් ඕපන් කළා.ඒ පෙට්ටිය ඇතුළෙ තිබ්බේ ලස්සනම ලස්සන රිදී පාට අත් ඔරලෝසුවක්.මට එක පාරටම ඔයා දිහා බැලුණා.”ඇයි මට මෙච්චර වටින දෙයක් ගත්තේ” එහෙම අහනවත් එක්කම මගෙ ඇස් දෙක බොඳ වුණා.”ඔයාට ගන්නෙ නැතුව මම වෙන කාට ගන්නද හිරූ.මට ඉන්නෙ ඔයා විතරෙනෙ.මං ඉන්න කාලෙ…නෑ..මේ..මේ.. මං කිව්වෙ…ඔයාව මම පුළුවන් තරම් සතුටින් තියනවා කියලා..ඔයා තමයි මට හැම දෙයක්ම.ඒක නිසා ඔයාගෙ සතුට මට හුඟක් වැදගත්.ඒ නිස මගෙ පුංචි පණ්ඩිතයන් වහන්සේ,තව කියවන්නෙ නැතුව මේක භාරගන්න.හරිද? “ඔයා එහෙම කියද්දි ඔයාගෙ ඇස් දෙකේ පිරිලා තිබ්බ ආදරේ දැකලා මට හිතුණා මං කොයිතරම් නම් පිං කරල තියෙනවද කියලා.”මගේ සතුට තියෙන්නෙ මේ තෑගි වල නෙමේ පැටියො.ඔයා ගාව තම්යි මගේ සතුට තියෙන්නෙ”.මම එහෙම කිව්ව නෙමේ.මට කියවුණා.”ඒක මං දන්නවා බබෝ.ඒත් මේ මං සතුටින් දේවල්නෙ”.මම එතනින් එහාට මුකුත් කියන්න ගියේ නැහැ.දුප්පත් කොල්ලෙක් වුණත් ඔයාගෙ ආදරේ නිසා මං කොච්චර පෝසත්ද කියලා මට හිතුණා.ඔයා මට දීලා තියෙන වටිනා තෑගි වලට හරියන්න මට දෙන්න පුළුවන් වුණේ පුංචිම පුංචි,ඒ තරම් වටින්නෙ නැති දේවල්.මම ගන්න පඩියෙන් ගෙදරට වියදම් සල්ලි දීලා,අපි දෙන්න වෙනුවෙන් ගත්ත ඉඩමෙ ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවලා,ගමන් වියදම් වලට ගියාම මගේ අතේ ලොකු මුදලක් ඉතුරු වෙන්නෙ නැහැ.ආසාව තිබ්බත් වටිනා ලොකු දෙයක් දෙන්න තරම් ඔයාගෙ මේ දුප්පත් හිරූට තාම හැකියාවක් නැහැ.මං දෙන තෑගි වටිනාකින් අඩු වුණත් ඔයාට ඒවා හුඟක් වටිනවා කියලා මං දන්නව.මම කවදහරි ජීවිතේ ඉහළ තැනකට එනවමයි.එහෙම ඉන්න කාලෙකට මම ඔයාගෙ කාමරේ තෑගි වලින් පුරවනවා.ඔයාට කිසිම අඩු පාඩුවක් නොකර,දුකක් නොදී ආදරයෙන් බලාගන්නවා.මම හැමතිස්සෙම හිතෙන් එහෙම හිතනවා.මගේ ප්‍රාර්ථනාව කවදහරි ඉටුවෙන බව මං දන්නවා.මම හිතින් එහෙම හිතද්දි ඔයා පෙට්ටියෙන් ඔරලෝසුව ඉවතට අරන් මගේ අතේ බඳින ගමන් “බලමු මීට පස්සෙවත් වෙලාවට එයිද කියලා මාව හම්බුවෙන්න”. කියලා ලස්සනට හිනා වුණා.ඔහොම හෝරා කීපයක්ම රසබරව ගෙවුණා.දැනුනෙවත් නෑ.ඔයාගෙන් සමුගනිද්දී “හෙට නම් පරක්කු වෙන්න බැහැ ඔන්න.හරියටම 5.30 වෙනකොට ඇවිත් ඉන්න ඔනේ.හරිද?”කියලා ඔයා කිව්වෙ ඇඟිල්ලක් දිගු කරගෙන පොඩි ළමයෙකුට තරවටු කරන ස්වරූපයෙන්.මම හා කියන්න වගේ ඔලුව වැණුවා.ඔයා හිනාවෙලා මට පිටුපාලා ඈතට ඇවිදන් ගිහින් තිතක් වෙලා නොපෙනී යනකන්ම ඔයා දිහා මම බලාගෙන හිටියෙ දුකෙන්,ඒ වගේම හුඟක් ආදරෙන්.හෙට ආයෙත් හම්බුවෙනවා කියල දන්නවා වුණත් ඒ තාවකාලික වෙන්වීමත් මට දුකක්.ඔයාටත් එහෙමයි කියලා මං දන්නවා.හෙට අලුත් දවසක ඔයගෙ ලස්සනම ලස්සන සුදු මූණ ආයෙත් දකින බලපොරොත්තුවෙන් මම අද දවසට සමුදුන්නා.

ඊලඟ දවසෙ මම ඔයාව හම්බුවෙන්න ආවා.අයියෝ…හැමදාමත් වගේම මම අදත් විනාඩි පහක් පරක්කුයි.අද නම මම ඉවරයි.එහෙම හිතාගෙන අපි දෙන්නා මුණගැහෙන සුපුරුදු බංකුව ගාවට එනකොට ඔයා එතන හිටියෙ නෑ.පුදුමයි.හැමදාම මට ඉස්සෙල්ල ඇවිල්ලා ඉන්න එක්කෙනා අද තාම නෑ.අද මගේ දවස.අල්ලගන්න ඕනෙ ආපුවහම.ටිකක් අවුස්සන්න පුළුවන් අද.හිනාවෙවී එහෙම හිතන ගමන් මං බංකුවෙන් ඉදගත්තා.මිහිරි සිතුවිලි අතරෙ මං ටිකක් තනිවෙලා හිටියා.ඇත්තටම ආදරේ කොයිතරම් සුන්දරද?

එක පාරටම කල්පනා ලෝකෙන් මිදිලා මම මගේ අත් ඔරලෝසුව දිහා බැලුවා.වෙලාව 6.05.ඒත් ඔයා තාම නැහැ.මම වටපිට බැලුවා ඔයා එනවද කියලා බලන්න.ඒත් පේනතෙක් මානයක ඔයා නැහැ.මට කියල මොබයිල් එකක්වත් නැති එකේ පාඩුව දැනෙන්නෙ මේ වෙලාවට තමයි.මට එහෙම හිතුණා.ඇයි ඔයා පරක්කු?මගේ ඔලුවට එක එක දෙවල් එනවා.ඒත් එක්කම මධු හදිස්සියකදි කෝල් කරන්න කියලා දීලා තිබ්බ දුරකථන අංකය ගැන මට එක පාරටම මතකෙට ආවා.ඒ මධූගෙ ගෙදර දුරකථන අංකය.එකම එක පාරක් විතරක් ඇමතුමක් දීල තිබ්බ ඒ අංකයට කෝල් එකක් දෙනවද නැද්ද කියලා කල්පනා කළේ මධූගෙ ගෙදර සේවකයා සෙල්වම් ඇරෙන්න අපේ සම්බන්ධය ගැන දන්නෙ නැති මධූගේ පවුලේ අයට මම කවුද කියන එක ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණ නිසා.ජීවිතේ යම් තත්වයකට ඇවිත් කෙළින්ම මධුගේ ගෙදරට ගිහින් මේ සම්බන්ධය ගැන කථා කරන්නයි මට ඕන කම තිබ්බෙ.මධූත් ඒකට කැමත්තෙන් හිටියෙ.මම අයෙමත් වෙලාව බැලුවා.6.30ත් වෙලා.මම පාරෙන් අනිත් පැත්තෙ තියෙන කොමිනිකේෂන් එකට ගියේ කමක් නැහැ,ඕන මගුලක් වෙච්චදෙන් කියලා කෝල් එකක් දීලා බලනවා කියලා හිතාගෙන.අංකය ඩයල් කරද්දි හිතේ දෙගඩියාවක් තිබ්බෙ කවුරු කෝල් එක ආන්සර් කරයිද කියලා හිතුණු නිසා.හුඟක් වෙලා රින් වුණත් කවුරුත් ආන්සර් කළේ නැහැ.මම ආයෙත් ඩයල් කළා.ඒත් නැහැ.ආයෙමත් සැරයක් ට්‍රයි කළා.ඒත් එහෙන්මමයි.රිසීවර් එක තියන්න කියලා හදනකොටම එහා පැත්තෙන් කටහඬක් ඇහුණා.ඒ සෙල්වම්ගේ කියලා හඳුනගන්න මට වැඩි වෙලා ගියේ නැහැ.සිතට පොඩි සතුටක් ආවා.”සෙල්වම්.මම හිරුදික.සුදු බේබි ගෙදර ඉන්නවද?ඉන්නවනම් එයාට පොඩ්ඩක් කථා කරනවද?මම එයා එනකන් මඟට වෙලා බලාගෙන ඉන්නවා.එයා තාම නැහනෙ”.මම එක දිගටම කියාගෙන ගියා.සෙල්වම්ගෙන් කිසිම පිළිතුරක් නැහැ.”සෙල්වම්,මට සුදු බේබිට පොඩ්ඩක් කථා කරන්න ඕනෙ.මම සුදු බේබි එනකන් දැන් හුඟක් වෙලා ඉඳලා බලාගෙන ඉන්නෙ මඟට වෙලා”.මෙතෙක් වෙලා සද්දයක් නැතුව හිටිය සෙල්වම්ගෙ ඉකිගසන හඬත් එක්ක “සුදු බේබිට ආයෙත් හිරූ මාත්තියව හම්බුවෙන්න එන්න වෙන එකක් නැහැ හිරූ මාත්තියා”කියන වචන ටික ඇහුණම මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා.”ඒ..ඒ මොකද සෙල්වම්.සුදු බේබිට ගෙදරින් ප්‍රශ්නයක්ද?”මම කලබලයෙන් වගේ ඇහුවා.සෙල්වම්ගේ ඉකිබිඳිම තදින්ම ඇහෙන්න ගත්තා.මට ආවේ පුදුම කේන්තියක්.”කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවකො මනුස්සයො.බහුබූත කියවන්නෙ නැතුව”.මගෙ හඬේ තිබ්බ සැරත් එක්කම සෙල්වම්ගේ ඉකිය තවත් වැඩි වුණා.ඒත් එක්කම සෙල්වම් පැකිළි පැකිළි කථා කරන්න ගත්තා.”හිරූ මාත්තිය…සුදු බේබි…සුදු බේබි…ඊයෙ…ඊයෙ…ඊයෙ රෑ…හොෂ්පිටල් එකේදි….අනේ ශාමි ඇයි අප්පා මෙහෙම වුනේ ශාමි”සෙල්වම්ගේ ඉකිබිඳීම විලාපයකට හැරුණා.මගේ හිතේ කලබලය,බියත් එක්ක මුසුවෙච්ච කේන්තිය මම පුලුවන් තරම් හයියෙන් කෑගහලා වචන වලට පෙරළුවා.”කියපන් මිනිහෝ සුදු බේබිට මොකද…සුදු බේබිට අසනීපක්වත්ද…කියපන්…කියපන්.ඇයි උඹ කථා කරන්නෙ නැත්තෙ…සුදු බේබි හොඳින් නේද.මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියපන් මිනිහෝ.සුදු බේබිට මොකද?”සෙල්වම්ගේ ඉකිය විලාපයකට හැරෙන්නට වැඩි වෙලා ගියේ නැහැ.”සුදු බේබි හිරූ මාත්තියව දාල ආයෙත් එන්නෙ නැති දුර ගමනක් ගියා හිරූ මාත්තියා.”සෙල්වම්ට කියන්නට හැකි වුණේ එපමණයි.”කොහෙද මිනිහො සුදු බේබි මාව දාලා ගියේ…සුදු බේබිට මං නැතුව ඉන්න බැහැ…සුදු බේබිට එක දවසක්වත් මාව දකින්නෙ නැතුව ඉන්න බැහැ…ඉතින් කොහොමද සුදු බේබි මටත් නොකියා දුර ගමනක් යන්නෙ…කියපන් මට…සුදු බේබි කොහෙද ගියේ..”මගේ ඔලුව ගිනියම් වෙලා වගේ මට දැනුණෙ.ඒත් එක්කම එහා පැත්තෙන් නුපුරුදු කටහඬක් ඇහුණා.”හිරුදික පුතේ.මං මධූගෙ අප්පච්චි”.ඒ කටහඬ ශාන්ත විදිහට කිව්වා.”ඔව්..ඔව්..අප්පච්චි..ම්.මං හිරුදික.මං..මං..මං ගැන මධූ අප්පච්චිට කියලා නැතුව ඇති.මං…මං මධූට ආ..ආදරේ කරනවා අප්පච්චි”.මම පැටළි පැටළි එහෙම කිව්වා.ඒ වෙලාවෙ වචන ගළපගන්න තරම් හොඳ මානසිකත්වයක් මට තිබ්බෙ නැහැ.”මට මධු ඊයෙ සේරම කිව්වා පුතේ”මධූගෙ අප්පච්චි එහෙම කියද්දි මගෙ හිතට පොඩි අස්වැසිල්ලක් ආවා.”අප්පච්චි…ම..මධූ හොඳින් නේද…අප්පච්චි?”මම එහෙම ඇහුවා.”පුතේ.මම මේ කියන්න යන දේ අහන්න පුතාගේ හිත ශක්තිමත් කරගන්න”.මොන ගිනි ගෙඩියක් පාත් වෙන්නද යන්නෙ කියලා මට හිතාගන්න බැරි වුණා.අප්පච්චි මේ සම්බන්ධෙට කැමති නැහැ කියන්නවත්ද හදන්නෙ.මම ඊට ඉස්සර වුණා “අප්පච්චි,මං දන්නවා මං දුප්පත් කියලා.ඒත් මං දැන් හොඳ ජොබ් එකක් කරනවා.මට ප්‍රොමෝශන් එකකුත් ලැබුණා.මගෙ පඩියත් වැඩි වුණා.මම සල්ලි එකතු කරලා අපි දෙන්නගෙම කියලා ගෙයක් හදාගන්න ඉඩමකුත් ගත්තා.තව ටික කාලෙකින් සල්ලි එකතු කරලා පොඩි වාහනයකුත් ගන්නවා.මම මගේ දෙපයින් හිට ගත්ත දවසට මධූව කසාද බඳිනවා.එතකන් මට කල් දෙන්න අප්පච්චි.මම පොරොන්දු වෙනවා.මම මධූට කවදාවත් දුකක් දෙන්නෙ නැතුව ආදරෙන් බලාගන්නවා කියලා අප්පච්චි…ඇත්තමයි..මම පොරොන්දු වෙනවා”.මම එක හුස්මට එහෙම කියාගෙන ගියා.මං දන්නවා පුතේ…මං දන්නවා..ඒත්..” එහා පැත්තෙන් හීන් කෙඳිරිලි හඬක් ඇහුණා.”ඇයි ඒත් කියන්නෙ අප්පච්චි.අප්පච්චිට මාව විශ්වාස නැත්ද?”මම එහෙම ඇහුවා නෙමෙයි,මට ආයචනාත්මක හඬින් එහෙම ඇහුණා.”නෑ පුතේ.මට පුතාව විශ්වාස නැතුව නෙමේ.ඒත් …ඒත් අපි දැන් ඒකට හුඟක් පරක්කුයි පුතේ.මධූ…මධූ…මගෙ සුදු දුව..මගෙ පුංචි කෙල්ල…කාටත් වරදක් නැති මගෙ අහිංසකී….එයෙ රෑ…අපි හැමෝමව දාලා ගියා පුතේ.මට මගෙ බෝනික්කි නැති වුණා පුතේ”.මට මතක ඒ වචන ටික විතරයි.හාත්පසම කළුවර වෙනවා වගෙ දැනෙනවත් එක්කම මගේ හිසට යකඩ පොල්ලකින් ගැහුවා වගේ හැඟීමක් විතරයි මට අන්තිමට දනුනෙ…..

(මධූගෙ මරණයෙන් දින කීපයකට පසු )
මම සිහිය එනකොට මගේ ලෝකෙ උඩු යටිකුරු වෙලා තිබ්බා.සතුටින් පිරිලා තිබ්බ මගේ ලෝකෙට කාගෙහරි ඇස්වහ වැදිලා වගේ හැමදේම විනාශ වෙලා තිබ්බා.මගෙ සුදු බෝනික්කිව කවුදෝ හොරෙන් අරන් ගිහින් කියලයි මට හිතුණෙ…..
ඔයා මැරුණෙ මොළයේ තිබිච්ච ඉදිමුමක් නැත්නම් බ්‍රේන් ටියුමර් කියන තත්වයක් නිසාලු.මේ අසාධය්‍ය අසනීපය හින්දා ඔයා කොයිතරම් නම් දුකක්,වේදනාවක් විඳින්න ඇත්ද?ඔයාට නිතර නිතර හැදුණ ඔලුවෙ කැක්කුම සාමානය්‍ය ඔලුවෙ කැකුමක් නෙමේ,ඔය කියන අසනීපයෙ අතුරු ප්‍රථිපලයක් හින්දා ඇති වුණු දෙයක් කියලා නිකමට හරි මට හිතුණනම්,එදා මට ඔරලෝසුව තෑගි කරන වෙලාවෙ “මං ඉන්න කාලෙ…නෑ..මේ…මේ…මං කිව්වෙ ඔයාව මම පුළුවන් තරම් සතුටින් තියනවා කියලා”වැරදිලා කියවෙච්ච කථාවෙ තේරුම මට බින්දක් හරි මට දැණුනනම්,සත්තයි…මම ඔයාට කවදාවත් මැරෙන්න දෙන්නෙ නෑ.ලොකේ කොහේ ඇවිදලා හරි,කා ළඟ දණින් වැටිලා හරි,මේ ලෝකෙ ඔයාව සනීප කරන්න පුළුවන් දොස්තර කෙනෙක් ගාව වැඳවැටිලා හරි මම ඔයාව බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.මගේ ජීවිතේ නැති කරගෙන හරි මම ඔයගෙ ජීවිතේ රකිනවා.සත්තයි.ඒ තරමටම මට ඔයාව වටිනවා මධූ……

(මධූගෙ මරණයෙන් වසර කීපයකට පසු )
මම දැන් හුඟක් වෙනස් වෙලා මධූ.ඉස්සර වගේ මම දැන් දඟ නැහැ.මගේ ඒ දඟකාරකම ඔයත් එක්කම නැති වෙලා ගිහින්.ඔයා හැමදාම ආදරේ කරපු ඒ අහිංසක,කපටි හිනාවත් දැන් මගේ ළඟ නැහැ.ඒකත් ඔයත් එක්කම හොරු අරන් ගිහින්.වෙලාවට වැඩ කරන්නෙ නැති පුරුද්දනම් තාමත් එහෙන්මමයි..ඔයා හිටියනම් මගෙ කනෙන් මිරිකලා,හෙමින් ටොක්කක් ඇනලා”මේ කොල්ල නම් කවදාවත් හදන්න පුළුවන් කොල්ලෙක් නම් නෙමේ” කියලා කියයි හිනා වෙවී.මොනා නැතත් එක දෙයක් නම් මම වෙලාවට කරනවා.වරද්දන්නෙ නැතුව.හැමදාම හැන්දෑවෙ 5.30 වෙනකොට මම අර සුපුරුදු බංකුවට වෙලා තාමත් ඔයා එනකන් මඟ බලාගෙන ඉන්නවා.හරියටම 5.30 වෙනකොට.තත්පරයක්වත් පරක්කු වෙන්නෙ නැතුව මම එතනට එනවා පුරුද්දක් විදිහට.කොහේ හරි ඉඳලා ඔයා මාව බලන්න මෙතනට එයි කියන විශ්වාසයෙන් මම තාමත් මෙතනට වෙලා ඉන්නවා.ඔයාගේ මතකෙයි.ඔයා දුන්න ඔරලෝසුවයි විතරයි දැන් මගෙ තනියට මං ළඟ ඉන්නෙ…කොහේ හරි ඉඳලා මගෙ ළඟට දුවගෙන ඇවිල්ලා “මගෙ හිරූ” කියලා අනේ..ඔයා මට තුරුළු වෙනවනම්…ඔයා නැතුව මේ හිරුදිකට හුඟක් පාළුයි රත්තරන්.

–රනිල් ජීවන්ත–

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments