උමංකඳුර සරණක් අවැසි මිනිසුන් උදෙසා පිළිසරණක් වූ සමාජ සත්කාර – දේව පූජාව (Part 05)

by | Jul 29, 2018 | Ashirwadha | 0 comments

උමංකඳුර සරණක් අවැසි මිනිසුන් උදෙසා පිළිසරණක් වූ සමාජ සත්කාර – දේව පූජාව (Part 05)

දේවාලයේ දිවා ආහාරය ලබා දීමට අප පොරොන්දු වීමෙන් පසු ඔවුන් අපෙන් ඉල්ලීමක් කලා. ඒ වාර්ශික දේව මංගල්‍යය අවසන් වන දිනය එනම් අප විසින් දිවා ආහාරය ලබා දෙන දින ඔවුන් පවත්වන විශේෂ දේව පූජාවට මටත් අපේ අයියාත් ඇතුලු පවුලේ සියලු දෙනාට සහභාගි වන ලෙස. ඒ අපටත් අපත් සමග එකතුව ඔවුන්ට උදවු කරන ලොව පුරා විසිරී සිටින සියලුම දෙනාටත් දෙවියන්ගේ ආශිර්වාදය ලබා දීමේ අරමුණ ඇතිවයි.

එවිට මුලින් අප විසින් ඔවුනට පවසා සිටියා ඒ පූජාව ඔවුන්ගේ කෙනෙකු අතින් සිදු කරන ලෙස. ඒ අප බෞද්ධයන් වීම නිසා. එහෙත් ඔවුන් පැවසූ වදන් නිසා අපට එම ඉල්ලීම ඉවත හෙලීමට නොහැකි වූවා. ඒ ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ ජාතියේ කිසිම කෙනෙකුන් මෙලෙස ඔවුනට උදවු කර නොමැති බවත් අප ඔවුනට කිහිප විටකදීම උදවු කලේ දෙවියන්ගෙන් ලැබුන දායාදයක් ලෙසත් එනිසා අප විසින් එම පූජා චාරිත්‍ර ඉටු කිරීම ඔවුනට කරන ගෞරවයක් ලෙසත් පවසා සිටියා. ආගම කුමක් වුවත් හොද සිතින් කරන දෙයට දෙවියන් එක සිතින් ආශිර්වාද කරන බවත් පවසා සිටියා. එනිසා එම ඉල්ලීම ඉවත හෙලීමට අපට නොහැකි වූයේ ඔවුන්ගේ සිත් රිදවීමට අපට නොහැකි වූ නිසා. ආරාධනාව භාර ගත් පසු ඔවුන් තව පොඩි ඉල්ලීමක් අපෙන් කලා. ඒ හැකිනම් ඔවුන්ගේ ආවේනික ඇදුමින් සැරසී පූජාවට සහභාගි වන ලෙස. එටද අප පිළිගත්තේ ඔවුන්ගේ සිත් සතුටු වනු දැකීම අපගේ බලාපොරොත්තුව වූ නිසා.

උපතින්ම බෞද්ධයන් වූ අපගේ එකම ශාස්තෘ වරයානන් වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන් වහන්සේගේ දේශනාවට මිනිසුන්ගේ සිත් පිනවීමද කුසල කර්මයක් වෙනවා. ඒ වාගේම කිසිම දහමක් තුලින් වැරදි දෙයක් කරන්න කියන්නේ නෑ. එනිසා අප ඔවුන් පැවසූ ලෙසට එදින ද්‍රවිඩ ජාතිකයන්ට උරුම වූ ඇදුමින් සැරසි පූජාවට සහභාගි වූවා. අප එලෙස දුටු ඔවුන් අතිශයින් ප්‍රීතිමත් වූවා. අප විසින් පූජාව සිදු කරන අතරතුර ඔවුන් පැවසූ ලෙසට අප විසින් වැදුම් පිදුම් කලා. ඒ එම ආගමටද අප ගරු කල යුතු නිසා. ( මෙලෙස මා පවසා සිටින්නේ මේ චායාරූප දැක සමහරක් පිරිස් අපට මිත්‍යා මත කාරයන් යැයි චෝදනා කරනු ඇතැයි සිතාය. මෙවැනි ද්‍රවිඩ සංස්කෘතික මංගල්‍යයකට සහභාගි වූ පමණින් අපගෙ බෞද්ධකම නැති නොවන බවද කාරුණිකව මතක් කරන්න කැමතියි)

පූජාව අතරතුර ඔවුන් මේ පින්කමට දායකත්වය දැක්වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාටත් දේවාශිර්වාදය දෙවියන්ගෙන් ප්‍රාර්තනා කලා. තවද මෙවැනි පින්කම් ඉදිරියෙදීත් සිදු කිරීමට දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටියා. ආගම කුමක් වුවත් ඔවුන්ගේ ප්‍රාර්තනාව යහපත් නිසා අපද සතුටු සිතින් පුජාව නිම කර සිටියා…..

වැඩි දුරටත්….

දියතලාව උමංකදුර ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලයේ වාර්ශික දේව මංගල්‍යය පසුගිය දා නිමාවට පත්වූවා. දේවාලය අවට සිටින පවුල් 100කට ආසන්න ඉතාම අන්ත අසරණ තත්වයේ ජීවත් වන අතර කුඩ කටුමැටි නිවෙස් වල ජීවත් වන ඔවුනට එම පොළොවේ හිමිකමවත් නොමැත. ඒ තරම් අසරණ මිනිස්සු වන ඔවුන් ද්‍රවිඩ හා සිංහල දෙකෙහිම ආභාශය ලැබූවන්. දැනට මාස ගණනාවකට කලින් සමාජ සත්කාර හරහා ඔවුනට පිහිට වූවා ඔබට මතක ඇති.

පසුගිය දිනෙක දේවාලයේ කපු මහතා හා ගමේ පිරිසක් අප දියතලාව නිවසට පැමිණ විශේෂ ඉල්ලීමක් කලා. ඒ ඔවුන්ගේ එම පවත්වන වාර්ශික මංගල්‍යය සාර්ථක කර ගැනීමට පිහිටක් වන ලෙසට. අප ඔවුන්ගෙන් විමසා සිටියා ඔවුනට අවශ්‍ය වන්නේ කවර ආකාරයේ උදව්වක්ද යන්න ගැන. ඔවුන් පවසා සිටියා එම මංගල්‍යය සදහා අවට මිනිසුන් ශ්‍රමයෙන් දායකත්වය ලබා දෙන අතර ඔවුන් සදහා කෑම වේලක් ලබා දෙන ලෙසට. ඒ මිනිසුන් එදා වේල හොයා ගන්නේද බොහොම අමාරුවෙන් නිසා එවැනි දේකට වියදම් කිරීමට ශක්තියක් නොමැති බව පවසා සිටි අතර එසේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් කෑම වේලක් දීමට හැකිනම් එය ඔවුන්ගේ ධර්මයට අනුව දෙවියන්ගේ ආශිර්වාදයට ලක් වන බවද පවසා සිටින ලදී.

අප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව යම් අයෙකුගේ කුසගින්නක් නිවීමට හැකිනම් එය මහත්ඵල මහානිසංස දානයක් දුන්නා හා සමාන බව දේශනා කර ඇත. ඒ කුසගිනි පුද්ගලයා කුමන ආගමක කෙනෙක්ද යන්න නොව අපට වැදගත් වූයේ ඔවුන්ටත් දැනෙන්නේ අපට දැනෙන කුසගින්නම නිසා අප ඔවුනට පිහිට වීමට සිතා ගත්තා. තවත් දෙයක් අප සමාජයේ සමහර පිරිස් සිටිනවා අන්‍යාගමික මිනිසුන්ට උදවුවක් කලොත් අප දෙස සමච්චලයට හා පුදුමයෙන් බලන පිරිසක්. කිසිම දාක කිසිම කෙනෙකුට උදවුවක් නොකල අය මේවා විවේචනයට ලක් කරන්නේ පුදුම සහගත ලෙස. නමුත් අප සම්මා සම්බුදු පියාණන්ගේ ධර්මයට අනුව අප විසින් පිහිට විය පුද්ගලයාගේ ජාති, ආගම්, කුල, වැඩක් නැත. කවර අසරණයකුට හෝ පිහිට වීම මහත් කුසලයකි. ඉතින් ඉහත ලෙස සිතන සමහරක් පිරිස අතැර ඒ දෙස සුභවාදීව සිතන විශාල පිරිසක් අපත් සමග මේ අසරණ මිනිසුන්ට කෑම වේලක් ලබා දිමට එකතු වූවා. ඔවුන් කිසි විටෙකත් ජාති භේද නොසලකා අවශ්‍යතාවය පමණක් සිතා උදවු කිරීමට මූලිකත්වය ගන්නා පින්බර පිරිසක් වූවා.

ඉතින් එලෙස අප හා එකතුවූ පින්වත් පිරිසගේ මූල්‍ය දායකත්වය මත අපට ඔවුනට දිවා ආහාරවේලක් ලබා දිමට හැකිවූවා. බත් සමග අල බැදුමක්, බෝංචි ව්‍යාංජනයක්, බටු ව්‍යාංජනයක්,පරිප්පු ව්‍යාංජනයක්, රසම් එකක්, පපඩම්, වඩේ හා ඔවුනට ආවේනික අතුරුපසක් වන පායාසම් එකක් සහිත පූර්ණ නිර්මාංශ ආහාර වේලක් අපට ලබා දිමට හැකි වූවා. කුඩා දරුවන්, වැඩිහිටියන්, මහලු වූවන්, තරුණ පිරිස්, ආබාධිතයන්, 600කට ඉක්මවූ පිරිසක් අප ලබා දුන් දිවා ආහාරය භුක්ති විදීමට පැමිණ සිටියා. දේවාලය තුල අතුරන ලද පැදුරු මත වාඩි වි සිටි ඔවුන් අප ආහාර බෙදන තෙක් මහත් ඕනෑකමින් බලා සිටිනු දුටු අපට ඔවුන්ගේ අසරණ කම මුහුණු වලින් මනාව පෙනුනා. නමුත් කෑම ලබා දෙන තුරු මහත් වූ සංවර කමකින් සිටි ඔවුන් දුටු අපට ඔවුන්ගේ හැසිරීම ගැන ගොඩාක් සතුටු හිතුනා.

ආහාර ගැනීමෙන් අනතුරුව ඔවුන් අප වෙත පැමිණ ඔවුනට පුලුවන් අයුරින් අපට පිං දෙනු ලැබුවා. සමහරු පවසා සිටියා ඔවුන්ගේ දරුවන්ට හරිහමන් කෑමක් ලැබුනේ දින ගනණාවකින් බව. අපටත් උදවු කල සියලුම දෙනාටත් නැවත් නැවතත් ඔවුන් පින්දී දෙවියන්ගේ ආශිර්වාදය පැතුවා.

අසරණ මිනිසුන් උදෙසා දානයක් ලබා දීම වෙනුවෙන් මූල්‍ය වශයෙන් හා ශ්‍රම දායකත්වය ලබා දුන් සියලුම දෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ පවුල් වල අයටද මේ පිං අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී ජීවිත ගත කිරීමට හැකි වෙත්වා. කරන කියන රැකි රක්ෂා කටයුතු සාර්ථක වේවා. යහපත් පවුල් ජීවිත ගත කිරීමට හැකි වේවා. මරණින් පසුද සැපවත් ජීවිත අත්වී අවසානයේ මේ බුද්ධ ශාසනය තුලදිම උතුම් වූ නිවනින් සැනසීම ලැබීමට මේ පින් හේතු වාසනා වේවා.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments