ධාතූන් වහන්සේලා නිවසට වැඩම්මවීම සඳහා සූදානම් වීම – Part 01

by | Oct 6, 2017 | Ashirwadha, Project | 0 comments

ධාතූන් වහන්සේලා නිවසට වැඩම්මවීම සඳහා සූදානම් වීම – Part 01

හෙට දිනයේදී හඳපානාගලට වැඩමවා ප්‍රදර්ශනය කිරීමට නියමිත ධාතූන් වහන්සේලා අද දිනයේදී අප නිවසට වැඩම කරවා තැන්පත් කර තැබීම සඳහා සුදුසු ආසනයක් අප විසින් නිර්මාණය කලා. තවද එයට පූජා කිරීම සඳහා අලංකාර මෙන්ම සුවඳවත් මල්, පහන්, සුවඳ දුම් ආදිය පිළියල කර තැබුවා. අද උදෑසනම මා විසින් විශේෂයෙන් ගෙන්වා ගන්නා ලද නෙළුම් මල් පුබුදුවා අලංකාර මල් වට්ටියක් සියලුම ෆේස්බුක් මිතුරු මිතුරියන් වෙනුවෙන් ධාතූන් වහන්සේලාට පූජා කිරීමට සූදානම් කලා.

මතු සම්බන්ධයි…

පිංකම පිළිබඳව වැඩි දුරටත්…

ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ පිංකම 2017

මේ වස්සාන කාලයයි. ඊට පසු එලබෙන්නේ චීවර මාසය හෙවත් කඨින පිංකම් සිදු කරන මාසයයි. ඉතින් බෞද්ධයන් වන අපට බොහෝ කුසල් රැස් කර ගත හැකි මාසයක් ලෙස මේ මාසය හැදින්විය හැක. ඒ වස් පිංකම් වලට සමගාමිව නොයෙකුත් පිංකම් සිදු කරන නිසා.

සමාජ සත්කාර කණ්ඩායමේ අපිද කඨින පිංකම් සිදුකරන ඒ සුවිශේෂ මාසයේදී විශේෂ පිංකමක් සිදු කරන්න සූදානම් වෙනවා. ඉතාම කලාතුරකින් සිදු කරන්න ඒ වාගේම සහභාගි වෙන්න පුලුවන් පිංකමක් තමයි මේ. ඒ විහාරස්ථානයක් වෙත ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පිංකමක් සිදු කිරීම.

හදපානාගල කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ තියෙන දුශ්කර පැත්තක්. එයින් හැරිලා උක්‍ යායවල් මැදින් කි.මි.25ක් පමණ ගියාම යාය 11 හමුවෙන්නේ. අති දුශ්කර පැත්තක්. දුශ්කරකම වැඩි නිසාම මේ පළාත් වල විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාත් අඩු අතර මේ නිසා විහාරස්ථාන වැසී යාමේ අවධානමක්ද තියෙනවා. ඉතිං එලෙස වැසී යාමට ගිය යාය 11 අශෝකාරාම විහාරස්ථානය වැඩි දියුණු කර ගනිමින් අපගේ හිතවත් ස්වාමින් වහන්සේ නමක් වැඩ වාසය කරනවා.

දායක පවුල් 100කට අධික ප්‍රමානයක් තිබුනත් ඔවුන්ද ඉතා දුප්පත් අහිංසක මිනිස්සු. විහාරස්ථානය ගොඩනගා ගන්න ඔවුන් ශ්‍රම දායකත්වය ලබා දුන්නද ඔවුනට මූල්‍යමය වශයෙන් උදවු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ පවතින ආර්ථික අපහසුතා නිසා. ඉතිං කිහිප වතාවකදීම අපි මේ විහාරස්ථානයට උදවු කලේද මේ හේතූන් නිසා. මොකද ඒ ගමේ විහාරස්ථානය වැඩිදියුණු කර එමගින් අප බලාපොරොත්තු වන දැහැමි සමාජය ගොඩ නැගීම අපගේද අරමුණ වන නිසායි.

මේ අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක් කියලා හැදින්වූයේ ස්වාමින් වහන්සේ වැඩ සිටින කුටියත්, ඉදිකෙරෙමින් පවතින අටවිසි බෝධි ප්‍රාකාරයත් විතරයි මේ පන්සලට තියෙන්නේ. ඉතිං මේ විහාරස්ථානයට විශාල අඩුපාඩුවක්ව පවතින ධාතුන් වහන්සේලා සහිත කරඩුන් වහන්සේ නමක් වැඩම කර දීමට අපි ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා.

අපේ අයියාට පෞද්ගලික හිතවත්කමක් මත ලැබෙන මේ ධාතූන් වහන්සේලා අප නිවසේ තැම්පත් කර පුද සත්කාර කරනවට වඩා පිනක් බොහෝ පිරිසකට වැදුම් පිදුම් කිරීමට මෙන්ම පුද සත්කාර කිරීමට ඉඩ සැලසීමෙන් සිදුවන බව සිතා අපේ අයියා සහ මා විසින් මේ ධාතුන් වහන්සේලා මේ විහාරස්ථානය වෙත පූජා කිරීමට තීරණය කලා. එම ධාතුන් වහන්සේලා අලංකාර කරඩුවක තැම්පත් කර අලංකාර පෙරහැරකින් විහාරස්ථානය වෙත වැඩම කරවීමට අවශ්‍ය කටයුතු කර දීමටද තීරණය කලා.

ඉදිකෙරෙමින් පවතින මේ විහාරස්තානයට මෙන්ම පිරිත් සජ්ජායනයකදී වැඩම කරවීමට අවශ්‍ය වන සධාතුක කරඩුව විශාල අඩුපාඩුවක්ව පවතින බවත් අප මේ පිංකම කිරීමෙන් පසු ඒ අඩුව සපිරෙණ බවත් මේ පූජා කරන ධාතුන් වහන්සේලා අනාගතයේදී දීර්ඝ කාලයක් විහාරස්ථානය මගින් දේශනා කරන පිරිත් සජ්ජායනා වලට වැඩම කර වීමට ප්‍රයෝජනවත් වනු ඇති බවත් විහාරාධිපති ස්වාමින් වහන්සේ අපට දේශනා කර සිටියා. ඒ වාගේම මෙවැනි දෙයක් පුජා කිරීම ඉතාම කලාතුරකින් කෙනෙකුට සිදු කර ගත හැකි පින්කමක් බවත් උන් වහන්සේ වැඩි දුරටත් දේශනා කර සිටිය. ඒ නිසා මේ දුර්ලභ පිංකමට ඔබ සැම දායක කර ගන්න අපි සිතුවා.

අලංකාර පෙරහැරක් මගින් සධාතුක ධාතූන් වහන්සේලා සහිත කරඩුන් වහන්සේ හේවිසි සහිත අලංකාර පෙරහැරකින් විහාරස්ථානය වෙත වැඩම කර ඒ අභිනවයෙන් වැඩම කරවූ ධාතුන් වහන්සේලා වෙත පුද සත්කාර කිරීමෙන් පසු විශේෂ ශබ්ද පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව මහජනයා උදෙසා ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පසුව එම කරඩුන් වහන්සේ ධාතු මන්දිරයක් සකස් කරන තෙක් විහාරස්ථානයේ සුදුසු ස්තානයක තැම්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම පෙරහැරට ශ්‍රම දායකත්වය ලබා දුන් පිරිසට හා ධාතුන් වහන්සේලා වැදපුදා ගැනීමට පැමිනෙන පිරිසට සංග්‍රහයක් කිරීමටද බලාපොරොත්තු වෙනවා.

වර්තමාන මෙන්ම අනාගත සංඝ පරපුරෙත්, දායක පිරිසගේත් ප්‍රයෝජනයට හේතු වන මේ පිංකම කලාතුරකින් සිදුකරන දුර්ලභ පිංකමක් වෙනවා.ඒ වගේම දිවා රෑ පින් වැඩීමටත් හේතු වන පිංකමක්ද වනවා. ඉතින් පිං කැමති ඔබ මේ පිංකමට සහබාගි වී ඒ කුසල් රැස් කර ගන්නා මෙන් බැති සිතින් ආරාධනා කර සිටිමු.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments