අපි අනුරාධපුර ඉඳන් දියතලාව යන ගමන් මහියංගනය 21 හන්දියෙන් හරවලා කන්දකැටිය, ගලඋඩ ගමට යන්න ගියේ අපේ සමාජසත්කාර සෙනෙහසේ පුස්තකාලය හදන්න පන්සලක් බලන්න. අපිට හොඳටම පරක්කු වෙලා තිබ්බේ, මොකද ෆොටෝ ගහන්න රෑ වෙන්න කලින් යන්න ඕනනේ. නමුත් හදිසියෙම මැදල්ලපිටිය ගමට කලින් නෙටොලතැන්න* (Not sure about the village name) සොහොන ලඟ බලු පැටියෙක් අපහසුවෙන් බඩ ගාගෙන එනවා දැක්කා. තව මනුස්සයෙකුත් ළමයෙක් එක්ක එතන හිටියා. අපි කුක්කව පහු කරගෙන මීටර් 150ක් විතර ගියා. මගේ හිතට හරි නෑ. මම සමීර මල්ලිට කීවා රිවර්ස් කරන්න කියලා. මම බැහැලා අර හිටපු කෙනාගෙන් කුක්කා ගැන ඇහුවා. එයා දන්නෙත් නෑ කීවා බලු පැටියා කොහෙ ඉඳන් ආවද, මොකද වෙලා තියෙන්නේ කියලා. මට මාර දුකයි. අයිතිකාරයෙක්වත් හිටියනම් පස්සේ ඇවිත් ප්රතිකාර කරන්න හෝ ඇවිදින්න පුලුවන් වෙන්න මොකක් හරි ක්රමයක්වත් හදන්න තිබ්බා. මොනා කරන්නද කවුරුත් දන්නේ නැහැ. අර මනුස්සයත් යන්න ගියා. ගමේ නමවත් අහගන්න කෙනෙක් නෑ. මං ගාව කෑම වගයක් තිබ්බා. ඔක්කොම ටික මම ඌට කැව්වා. මගේ අතත් පොඩ්ඩක් හැපුවා. මම අපේ ගෙදර බල්ලෝ දෙන්නා හනී-බනී එක්කත් බයෙන් ඉන්නේ. දැන් මං ගාව තිබ්බ කෑම ටික ඉවරයි. මම යන්න කාර් එකට නැග්ගා. ඒත් හිතට ෆිට් එකක් නෑ. මට හොඳටම පරක්කුත් වෙලා. මං බෙදන්න ගෙනාපු වියළි ආහාර පාර්සලයක තිබ්බ ලෙමන් පෆ් එකක් ගත්තා. කඩලා ඒක කව කවා ඉන්නකොට ආච්චි කෙනෙක් ආව දුවත් එක්ක. එයා දන්නෙත් නෑ බල්ල ගැන. ආච්චිටත්, දුවටත් බිස්කට් දුන්නා. පව් ඒ අයත් ගොඩක් තෙහෙට්ටුවෙන් හිටියේ.
බල්ලට බිස්කට් කව කවා ඉන්නකොට බස් එකක් ආවා. මාව ඉස්කෝලේ යන කාලේ ඉඳන් අඳුරන යාලුවෝ දන්නවා මම උසස් පෙළට පන්ති යනකොට කෑගල්ල ඉඳන් කුරුණෑගලට අපේ තාත්තා හැමදාම මාව ගිහින් දානවා, පන්ති ඇරෙනකම් ඉඳලා ආපහු ගෙදර එක්ක එනවා. ඒ මට පාරවල් පනින්න බෑ තනියම. තාමත් බැහැ. ඔෆිස් යනකොටත් ඔෆිස් එක ලඟ බැහැලා සමහර වෙලාවට පැය කාලකට වඩා කහඉර ලඟට වෙලා ඉන්නවා බස් නැති වෙනකම්. දෙපැත්තෙම වාහන පේන්න නැති වුණහම තමයි මම පාර පනින්නේ. මොකද මට මිටර් 100ක් විතර දුරින් එන වාහන පවා පේන්නේ මීටර් 5,6ක් දුරින් වගේ. ඒක නිසා පාර පනින්න බයයි. දිනේෂ් එක්ක යනකොට වුනත් පාර පනිනකොට එයා අතින් අල්ලගෙන පාර පනින්නේ. කහ ඉරේ පනින වෙලාවට කවුරු හරි එනකම් ඉන්නවා පාර පනින්න. වැරදිලා හරි වාහන ගොඩක් එන වෙලාවට පාර පැන්නොත් හිත ගැස්සුන එක හරියන්න පැය භාගයක් විතර යනකම් මට වැඩ කරගන්න බැහැ.
එහෙම ඉන්න මට මේ බලු පැටියට කන්න දිදී ඉන්නකොට එක පාරටම බස් එකක් ආවා. බල්ලා කකා හිටියේ පාර මැද. මට ඌව අල්ලන්නත් බෑ. එහාට එක්කරගෙන ගිහින් කන්න දෙන්නත් බෑ. බස් එකෙන් බල්ලා බේරගන්න මම අත් දික් කරගෙන පාර මැද්දට පැන්නා. මං ඇස් දෙක පියාගත්තා හැප්පෙනවනම් දෙන්නම හැප්පෙන්න කියල. බස් එක මට පොඩ්ඩක් එහායින් නැවැත්තුවා. බලු පැටියා කාණුවට පැන්නා. මමත් පාර අයිනට ගියා. ඒවෙලාවේ ගැස්සුන හිත තාමත් එහෙම්මමයි. ඇඟ කිලිපොලා යනවා මතක් වෙනකොට.
බිස්කට් ටික ඔක්කොම දීලා මම කාර් එකට නැග්ගා ගලඋඩ ගමට යන්න පරක්කු වෙන නිසා. ඌ අහිංසක විදිහට මං දිහා බලා ඉන්නවා. පවු. ඒ පෝස්ට් එකේ තියෙන විස්තර වලට අමතර විස්තරයක් මට කියන්න නැහැ. කවුරු හරි කෙනෙක් උදව් කරන්න යනවානම් මේක කියවලා ඒ අදාල ගමට ගිහින් උදව් කරන්න. නමුත් ඒ බල්ලා නැවත මුණගැසෙයි කියලනම් විශ්වාසයක් නැහැ.
ෂික්, මට දැන් මතක් වුනේ කන්න දුන්නට මට මේ බලු පැටියට වතුර උගුරක් දෙන්න බැරි වුණානේ. නොදැනීම පෝස්ට් එක අවසන් කරනකොට මගේ ඇස් කඳුළු වලින් පිරුණා…







